රාජසූරිය අස්ථාන කුමරු සිංහල ඉතිහාසයේ කඳුළු බිදුවකි. තෙමේ උඩරටට රාජ උරුමය රැගෙන ගිය පළමු විමලධර්මසූරිය රජුගේ (ක්‍රි.ව. 1592 - 1604) පුත්
කුමරුය.
තම රණශූර පියාණන් පරයන තරමට ජනකාන්ත වූ පුත්‍රයෙකි. ඒ රණශූරයකු ලෙස නොව කමණීය අරුමැසිවාදියකු ලෙසය. ඔහු අරුමැසි වූයේ අපුරු ලෙසය.
කුමර තෙමේ කුරුල්ලන්ට පෙම්බැඳි අයෙකි. එය තවත් අපුරු වූයේ ඔහු ළබැදි කුරුළු විශේෂයේ අපුරුව නිසාය.
රාජසූරිය අස්ථාන කුමරුගේ කුරුළු සුරතලුන් වූයේ කොණ්ඩ කුරුල්ලන්ය. කොණ්ඩ කුරුල්ලකු තම උරපත මත තබාගෙන කොණ්ඩ කුරුළු හිස සේම තම හිස විලාසිතා ගැන්වු මේ කුමරු තරුණ හද බැඳ ගත්තේය. අසුපිටින් ගමන් යන මේ මනමාල කුමරුගේ අමුතු පැවතුම් ස්ත්‍රීන්ගේ ද සිත් පැහැර ගත්තේය.
කෙසේ නමුත් මහනුවර පුරා කොණ්ඩ කුරුළු රැල්ලක් හමා ගියේය. අස්ථාන සේම උඩරටවැසි ගැටව් තම හිසකෙස් කොණ්ඩ කුරුළු විලාසිතාවට අනුව සකස් කරගත්හ. එය සම්මත රටාවන් දෙදරූ සිදුවිමක් විය. ඒ අතර ම ඉලන්දාරීන් කොණ්ඩ කුරුල්ලන් ඇතිකර රජ කුමරු සේම යන එන මග තොට තම උරපත මත උන් නංවාගෙන ගමන් යන්ට විය. මේ සිරිත කොතරම් ජනප්‍රිය වූවේ ද කියතොත් එකල තරුණ යතිවරු පවා කොණ්ඩ කුරුල්ලන් තම සුරතලුන් ලෙස ඇති කරන්න පටන් ගත් බව ඉතිහාස වාර්තා සඳහන් කරයි.
මෙකී ඇවතුම් පැවතුම් ගතානුගතික වැඩිහිටි සමාජයේ විවේචනයට බඳුන් විය. මේ ඇසිල්ලේ මහනුවර ජනප්‍රිය ක්‍රීඩාව බවට කොණ්ඩ කුරුළු සෙල්ලම් පත්විය. ඒ සඳහා අම්පිටියේ කෙළි පිටියක් ද ඉදිවුයේය. රට පුරා විසිරී සිටි කොණ්ඩ කුරුළු තරුණ කල්ලි එකිනෙකට මුණගැසුණු ක්‍ෂේම භූමිය බවට මෙම කෙළිපිටිය පත්විය.
තම පුත් අස්ථාන සේ ම විමලධර්මසූරිය රජු ද කුරුළු ලෝලියකු විය. ඔහු තම රජ මැදුර තුළ දැවැන්ත කුරුළු උයනක් පවත්වාගෙන ගිය සිංහලේ කුරුළු රජුය. රජ උයනෙහි අමුතුම කොණ්ඩ කුරුල්ලෙක් විය. අස්ථාන කුමරු රජ මැදුර තුළ ආශා කල එකම වස්තුව වූයේ එකී කුරුල්ලාය.
කෙසේ නමුත් කල්යත්ම විමලධර්මසූරිය රජුගේ බිසව වූ කුසුමාසන දේවිය සමග ඔහු සොයුරු ගම්පොළ තෙරුන් (සෙනරත්) එක වැසිව වස්නට වුහ. නුවර රජ මැඳුර වියවුල්වලින් දෙදරන්නට මෙම සිදුවීම හේතුවිය. රාජ්‍යත්වය පිළිබඳ කිසිදු බැඳිමක් නොතිබුණ අස්ථාන කුමරු කොණ්ඩ කුරුළු ලෝකයේ ම පාවෙමින් ජනගත වූයේය.
හුදී ජනගැටව් තමන් අතරට පැමිණි කුමරුන් කරමතින් ගමින් ගම ගෙන යමින් කුරුළු උදානයක් ඇති කළහ. එය කන්ද උඩරට පුරා කුරුළු උයන් රැල්ලකට මුල පිරීය. දකින අසන දකින සෑම අත කොණ්ඩ කුරුළු කතාය. කොණ්ඩ කුරුළු විලාසිතාය. කුරුළු සෙල්ලම්ය. කුරුළු කෙළිපිටිය.
මේ ඇසිල්ලේ අස්ථාන කුමරුගේ ඉමහත් ජනප්‍රියත්වය පියපුතු ගැටුමක් බවට පත් කිරිමේ කූට කුමන්ත්‍රණයක් දියත්විය. අස්ථාන හූදී ජනන් සමඟ රාජ කුමාර දිවිය ඉක්මවා ගත කරන සමීප ඇසුර රාජකීය පාලනයට නොරිස්සන්නට විය. මේ සියල්ල පසු පස ගම්පොළ තෙරුන් ලෙස ප්‍රකට (පළමු විමළධර්මසූරිය රජුගෙන් පසුව රජ පදවිය ලබා ගත්) සෙනරත්ගේ ක්‍රියාමාර්ග වු බව පැහැදිලිය.
රජගෙදර අප්‍රසන්න ස්වභාවය අස්ථාන කුමරුගේ සංවේදී හදට නොගැලපුණි. ඔහු තව තවත් කුරුළු සමාජයට සමීප විය.
අස්ථාන කුමරුගේ වත ගොත ගවේෂණය කරන කල්හි ඔහුගේ මව කවුදැයි අපි තවමත් නොදනිමු. කෙසේ නමුත් කිරුළ හිමි කුමරු වූ ඔහු හුදකලා කිරිමේ කූට උපක්‍රමයක් දියත්ව තිබුණි. මේ කමණීය තේජමාන කුමරු මහවැලි නදී තොටට විත් තම කුරුළු මිතුරන් සමඟ දිවි ගෙවන්නට ප්‍රිය කළේය. එහිදී ඔහුට රජක (රදා) කෙලිත්තියක් හමුවිය. ඇය අමුතු අසිරි, සරාග රසයකින් කුමරු ජීවමාන කළ බව සඳහන් වේ. එනම් නදී දියට බැස දිය තුළ කාමරාග බන්ධගතවීමෙනි. අස්ථාන එය දැඩිලෙස ප්‍රිය කළේය.
කුමරු සෑම හැන්දෑවක්ම මහවැලි නදී දියට විත් “රන් කෙළියේ “ යෙදෙන්නට විය. උඩරැටියන් රදා ගැටිස්සියගේත් අස්ථාන කුමරුගේත් බන්ධනයට දූන් නාමය වූයේ “රන් කෙළිය“ යන්නය. කළු කුමාර දේවතා පුවත එය මෙලෙස පවසයි.
දිය කෙලියට යන කලට ගඟේ යා
සළෙළු ලියක් සේ දුරට පෙනේ යා
රදා සියන් දැක පණ නොනැසේ යා
රන් කෙළියකි කළු කුරු ගඟේ යා
පෘතුග්‍රීසී අභිභවා නව නුවරකට සිංහල රාජ්‍යයත්වය කැන්දූ පියරජ අතැර අස්ථාන රජක සුවයක නතර වුයේ එලෙසය. එනමුත් පුතු නැති සොවින් පිය හඳවත සැළී ගියේය. සැලුණේය. ඔහු අභිමතය වූයේ පුතුට රජ කිරුළ පැවරීමය. නමුත් අස්ථානගේ පැතුම නිදහස් අරුමැසි දිවියක් විය. රදා කතක හා වෙලී බැඳුණු කුමරු රජ පදවිය දෑරීමට නොසුදුසු තරම් දූෂ්‍ය වී ඇති බව සොයුරු ගම්පොළ තෙරුන් (සෙනරත්) ගේ අදහස වුහ.
ඉතිහාසය පුදුමය. මහනුවර සමය මෙවන් කඳුළු කතාවකින් ආරම්භ වු බව දන්නේ කවරෙක් ද?
එක් දිනක කොණ්ඩ කුරුළු සංදේශය ගම්පොළ තෙරුන්ට හසුවිය. උන්වහන්සේ කොණ්ඩ කුරුල්ලා මරා දැමුහ. පියරජ හමුවට ගිය කොණ්ඩ කුරුල්ලා යළිත් නොපැමිණියේය. කුමරු රජ මාළිගයට විත් පියාණන්ගෙන් රජ පදවිය වෙනුවට තමකොණ්ඩ කුරුල්ලා ඉල්ලා සිටියේය. ගම්පොළ තෙරුන් එය ද වැලැක් වුහ.
පසුදා රජ ගෙදර කොණ්ඩ කුරුල්ලා ද මරා දමා තිබුණි. එය අස්ථාන කුමරුගේ ක්‍රියාවක් බව කියමින් පිය රජ හා පුතු විරසක කළහ.
බලවත් පිටියේ දෙවියෝ වැඩනි තී
මළකඳ දියවර පල්ලේ බලව තී
ජලමැද මානෙල් මල් සේ උප දි තී
කළු කුමරුන් යක් වෙලා මෙපුර එ තී

දේශපාලන හා සමාජ විශේලේෂක
වායාම පසුගිය ලිපි මෙතනින්