1200 x 80 DMirror

 
 

හෘද සමාන සගයන් හඳුන්වා ගැනීමට සිංහල භාෂාව තුල වදන් කිහිපයක් වේ.



කවි බස තුළදී සඳ සහ සබඳ ලෙසද සාහිත්යික ව්‍යාහාරයේදී සහෘදයා ලෙසද සාමාන්‍ය භාෂා භාවිතයේදී මිතුරා, මිත්‍රයා, යහළුවා ලෙසද හෘද සමාන සගයන් හඳුන්වා ගනී.

නමුත් කිසිදු කලක සිංහලයෝ ව්‍යාහාර භාෂාවේදී මේ කිසිදු වදනක් භාවිතා නොකර මිතුරන් හඳුන්වා ගන්නේ “මචං“ ලෙස ඇමතිමෙනි.

‘මචං‘ නමින් හෘද සගයන් හඳුන්වා ගැනීමේ පුරුද්ද සිංහලයන්ට හිමි වනුයේ දෙමළ ජනතාවගෙනි.

 

‘මචං‘ නම් වදනද එම වදනෙහි ව්‍යාහාර භාවිතයද සිංහලයන් උරුම කර ගනුයේ දෙමළ සම්ප්‍රද්‍රය ඇසුරෙනි. ඒ අනුව අතීත භාෂා තතු විමසුම සහ නුතන භාෂා භාවිතය පෙන්වන්නේ සිංහලයාගේ හෘද සගයා ද්‍රවිඩයා බවය ය. එමෙන්ම ද්‍රවිඩයාගේ හෘද සගයා සිංහලයා බවය.

 

එනමුත් මෙවන් භාව බන්ධන ජාතික එකමුසුවක් සහිත දෙජාතියක් බද්ධ වෛර බන්ධනව වසර දෙදහසක් මුළුල්ලේ විටින් විට යුධ වැද උන් උනුන් මරා ගත්තේ කෙලසදැයි සිතා ගැන්මට පවා නොහැකිය.


සේන සහ ගුත්තික සිංහල රාජ්‍යයත්වයට මුල්ම මරු පහර එල්ල කළ ද ඔහුනගෙන් උරුම වු හින්දු සමය සිංහල බෞද්ධ ජන ආත්මයට කා වැදී ගියේය. ඉන්පසු එළාර රජුගේ සිවු සතළිස් වසක පාලනය පූජනීය රාජ්‍ය ආකෘතියක් ලෙස සිංහලයන් බහුමානයට පත් කළේය. ඔහු වෙතින් ශීව දහම සිංහලයන්ගේ භාවිත ඇදහිල්ල විය.

චෝල අධිරාජ්‍යයා සිංහල සමාජය අසුවසක් යටපත් කරගෙන තිබුණි. ඒ සමය ශීව, පාර්වතී, ස්කන්ධ සිට කාලී, අයියනායක, ඉන්ද්‍ර, වරුණ, විශ්ණු ආදී හින්දු දේව මණ්ඩල සිංහල බෞද්ධත්වය සමඟ සමවැසි විය.

සියළු ද්‍රවිඩ ආක්‍රමණ පරදා දැමුවද සිංහලයෝ ද්‍රවිඩ සංස්කෘතිය තම ජාතික සංස්කෘතියෙහි ජීවය බවට පත් කරගෙන ඇත්තාහ.

මෙලෙස ද්‍රවිඩ සංස්කෘතිය සිංහල ජාතික සම්ප්‍රද්‍රයට මුසුකර ගත්තද ද්‍රවිඩ දේශපාලන අභිලාෂය සිංහල දේශපාලන උරුමත්වය සමඟ ගැටීම නිමා වි නැත. එම නිසා ‘මචං‘ දෙපළ යුධ වදිති. එහි එක් සමයක් වු “වෙළුපිල්ලේ යුගය“ නිමාව ඇත්තේ සිංහලයාට තම මචං ගැනද දෙමළාට තම ‘මචං‘ ගැනද ගැඹුරු සිතුවිල්ලකට මඟ පාදා දෙමිණි.
 
 
මෙම සිතුවිළි අතර සැරිසරන කළ 2600 වන වෙසක් පුන් පෝය පූර්ණ වි උදා වුයේ නිමිත්තට ‘මචං‘ තුළින් නිමිත්තක් පාදාලමිනි. වෙසක් සංස්කෘතිය සිංහලයන් තුළ බලගතු සම්ප්‍රදායක් වුයේ සුගත තථාගතයාණන් වහන්සේගේ තෙමඟුළ නිසා බව සත්‍යය. නමුත් එම සම්බුද්ධ තෙමඟුල සිරිලක බලවත් ජාතික සම්ප්‍රද්‍රාය බවට පත් වනුයේ එක් සුවිශේෂි යුග පුරුෂයන් සිවු දෙනෙකු නිසාවෙනි.
 
 
vijaya dutugamunu
 
සිංහලත්වයයට උරුම ජානයද රාජදේශපාලන ආකෘතියද බිහිකළ විජය කුමරු මෙරට ජාතික සංස්කෘතිය ආරම්භ කළේ වෙසක් පුන් පෝ දිනකය. එබැවින් ‘වෙසක් දිනය‘ අධ්‍යාත්මික ආගමික හැඩරුව දනවන දිනයක් වීමට මත්තෙන් රාජ දේශපාලනික ජාතික දිනය බවට පත් විය.

දෙවනුව ‘වෙසක් දිනය‘ ආධ්‍යාත්මික ආගමික බැතිය දනවන ජාතික උත්සවය බවට පත් කරනුයේ දුටුගැමුණු රජුය. එතෙක් වෙසක් දිනය පවත්වනුයේ සිංහල රජ අභිෂේක මංගල්‍ය පවත්වන “ජාතික රාජ දේශපාලන දිනය“ ලෙසය.

ක්‍රි.පූ. 547 වෙසක් පුන් පෝදින සිරස වස්තූ පුරයේදී සිංහල කිරුළ දරමින් විජය රජතුමා ඇති කළ ජාතික දේශපාලන රාජාභිෂේකය ඉන් මතු සෑම වෙසක් පුන් පෝදිනම සිදු වු රාජ චාරිත්‍රය විය. එම නිසා විජය රජුගේ සිට දුටුගැමුණු රජු දක්වා රජ සිරි පැමිණි සියළු රජවරු සෑම “වෙසක් පූන් පෝ දිනකම රාජ කිරුළ නැවත පළදමින් එම දිනය සැමරුවේය.

එබැවින් පූරාණ ග්‍රන්ථ සියල්ල රජ දරුවෙකුගේ රාජ වර්ෂ ගණනය කිරීම වෙසක් පෝ දින ගණනින් දක්වන සම්ප්‍රද්‍රයක් ගොඩනගා ඇත. එම නිසා පෞරාණික ග්‍රන්ථ තුළ බොහෝ රජ දරුවන් රජ පදවිය හෙබවු වර්ෂ ගණනාවක් දක්වා නැත. දක්වා ඇත්තේ මෙපමණ වෙසක් දින ගණනක් රාජභිෂේක උළෙල පැවැත්වු
බවය.

ඒ අනුව සිංහල රාජකීය ඉතිහාසය වටහා ගැනීමට මෙම ‘වෙසක් සිරිත“ වටහා ගත යුතුය.

කෙසේ හෝ දුටුගැමුණු රජතුමා රුවන්වැළි මහා ථූපය ස්ථාපිත කරමින් මෙරට ජාතික ආගමික දිනය බවට වෙසක් දිනය පත් කළේය. එතැන් පටන් ජාතික රාජ්‍ය දේශපාලන දිනය ලෙස භාවිත වෙසක් පුන් පෝ දිනය ජාතික අධ්‍යාත්මික දිනය බවට පත්විය.
 
cc050d217492bdc214abdd6700c15330 XL
 
වෙසක් සිරිත සිරිමත් කොට සිරිමත් වන තෙවන යුග පුරුෂයා වුයේ සිංහලයාගේ ‘මචං ය.“‘  එනම් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා ය.
 
 
වෙසක් සිරිත මෙරට ජන අවධානයෙන් සපුරා මැකි ගොස් සියවස් පහක් පමණ ගෙවී ගොස් තිබුණි. වෙසසින්ම දඹදෙණි යුගය සිට කොළඹ යුගය ආරම්භය දක්වා වෙසක් දිනයට හිමිව තිබු ජාතික අවධානය බැහැරට ගිය යුගයකි.

ජාතික රාජ දේශපාලන සහ ජාතික ආගමික දිනය ලෙස වෙසක් දිනය ඉස්මතු වූ ආකාරය මෙම යුග තුළ දක්නට නොහැකිය. එය පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණය නිසා තවදුරටත් යටපත්ව තිබුණේ ය.

ඒ අනුව ජාතික පුනරුදය උදෙසා දහනම සියවස අගදි ඇති වූ ජාතික ව්‍යාපාරය තුළින් වෙසක් පුනරාගමනයකට අදහස් සිතුවිළි පැතිර ගියේය.
 
 
මෙම පසුබිම තුළ ඉංග්‍රීසී පාලනය වෙනස් ආකාරයක් දැරුවේය. සම්මුතිවාදි දේශපාලන ක්‍රම තාලයක් තම පාලනයට ඔවුහු ප්‍රවේශ කර ගත්තේ සිරි ලක්දිව අතීත පාදමෙහි අපූර්ත්වය මැනවින් දුටු බැවිනි. ඉංග්‍රීසී රජයේ උපදේශකයන්ව සිටී ප්‍රවිණ ඉංග්‍රීසී සිවිල් නිළධාරින් බොහොමයක් මෙරට අතීත උරුම පාදම මනාකොට හදාරා සිටියේය.
 
 
මෙවන් පසුබිමක මෙරටට ව්‍යවස්ථාදායක සම්ප්‍රදාය උරුම වුයේය. ඒ අනුව ක්‍රි.ව. 1911 දී මැකලම් ප්‍රතිසංස්කරණය අනුව මහජන ඡන්ද බලය ස්ථාපිත විය. ඒ
අනුව උගත් ශ්‍රී ලාංකීකයෙකු සීමිත මහජන ඡන්ද බලයෙන් ව්‍යවස්ථාදායකයට තෝරා පත් කිරීමට තීරණය විය.
 
 
ඒ සඳහා ඉදිරිපත් වූයේ සිංහලයාගේ “මචං“ සංස්කෘතියහි උරුම ජාතිකයකු වු ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ ද්‍රවිඩයාගේ “මචං“ සංස්කෘතියේ උරුම ජාතිකයෙකු වු ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දූය. සිංහල මාක්ස් ප්‍රනාන්දු පරාජයට පත්ව ද්‍රවිඩ පොන්නම්බලම් රාමනාදන් ජය ගත්තේය. ඔහු ව්‍යවස්ථාදායකයට පත්ව 1912 දී සිදු කළ මහා ජාතික උදානය වුයේ ‘වෙසක් දිනය‘ ජාතික දිනය ලෙස ඉංග්‍රීසී රජය ලවා සම්මත කොට වෙසක් පුන් පෝදින නිවාඩුව ලබා ගැනීමය.
 
 
ඒ සමඟ “වෙසක් සිරිත“ යටගිය අතීත පාදම තුළින් නැගීට පිපිද පෙරට ගලා එන්න පටන් ගත්තේය. වෙසක් සිරිත නව කලා මාධ්‍ය වලින් සිරි විසිතුරු වන්නට විය. පෝදින සීල සමාධි නිවාඩුව ලැබුනේය.

ශ්‍රීමත් රාමනාදන් ගේ ව්‍යායාමය තුළින් සියවස් පහක් වැළලී යටපත්ව තිබු වෙසක් සිරිත යළි පුනර් ප්‍රබෝධයක් ලැබ අවදි වී බෞද්ධත්වයේ ජය මාවතට දිශානතිය වුයේය.

ශ්‍රීමත් රාමනාදන්ගේ යුගය නිමා විය. අසු වසරක් ගෙවි ගියේය. සිංහලයාද ද්‍රවිඩයාගෙන් ඈත්ව ගිනි අවි වලින් ප්‍රාණ සමාන තම දෙ ජාතියහි හදවත් සිදුරු කරගනිමින් තිබුණි. මචංලා මංචලාට එරෙහිව යුධ වදිමින් තිබුණි. බෞද්ධ දහම දුපත් රාජ්‍ය වලින් ඔබ්බට ගමන් කරමින් ජාත්‍යයන්තරය
දක්වා පැතිර යමින් ද තිබුණි.
 
 
Lakshman Kad
 
එවන් කලක වෙසක් සිරිත සිරිමත් කොට අසිරිමත් වූ සිවු වන යුග පුරුෂයා තම භූමිකාවකට පණ දෙන්නේය. ඒ තෙමේ ලක්‍ෂ්මන් කදීරගාමර් අමාත්‍යවරයාය. ඔහු වෙසක් දිනය ජාත්‍යයන්තර දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළින් ලෝක සම්මත බහුමානයට ප්‍රාත්‍ර කළේය. ඒ ක්‍රි.ව. 2002 දී වෙසක් සිරිත ලෝක සිරිතක් බවට පත් කරමිණි.
 
 
ඔහු තෙමේ මචංලා දෙපළගේ අදහා ගත නොහැකි වෛර බන්ධන අරගලයට ගොදුරක්ව ඝාතනය විය.

කෙසේ නමුත් වෙසක් සිරිත හා වෙසක් ඉතිහාසය තුළින් අසිරිමත් වුවෝ මෙ මහා පුරුෂයන් සිවු දෙනාය. වෙසක් සිරිතට අරුතක් මඟ දිශාව මෙන්ම පැවැත්ම තනා දුන්නේ ඔවුහුය. අන් සැවොම වෙසක් දිනය සමරා මැකී ගියද ඔවුහු ජාතික වෙසක් ඉතිහාසය තුළින් උත්තුංගව නැගී සිටින මහා පුරුෂ තොමෝය.
 
 
ක්‍රි.පූ. 547 දි විජය රජතුමා වෙසක් දිනය ජාතික රාජ දේශපාලන දිනය බවටත්, ක්‍රි.පු. 161 දී දුටුගැමුණු රජ තෙමේ එම දිනය ජාතික ආධ්‍යාත්මික සහ ආගමික දිනය බවට ද පත් කළේය. ක්‍රි.ව. 1912 ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා වෙසක් සිරිත යළි ජිවමාන කොට යූරෝපීය ජාතික රාජ අනුහසින් සම්මත කළේය. බහුවිධ බහු ආගමික ලෝක එකමුතුව වු එක්සත් ජාතීන්ගේ අනුමැතියෙන් වෙසක් සිරිත ලක්‍ෂ්මන් කදීර්ගාමර් අමාත්‍යවරයා ලෝක සිරිතට උරුම සිරිත කළේය.
 
 
මෙලස සිංහල මචංලා දෙනෙකු ද ද්‍රවිඩ මචංලා දෙනෙකු ද වෙසක් සිරිත සිරිමත් කර ඇත්තේය. අප සිදු කොට ඇත්තේ ඔවුහු මතුකළ උරුම පාදම මත පහන් දැල්වීම, සවුකොළ ඇලවීම, භක්ති ගී ගැයීම, සීල් සමාදන් විම වන්දනා හෝ වෙසක් පත් තැපල් කිරීම නොවේ නම් තොරණ තැනිම හෝ ඔලු බක්කන් නටවා දන්සල් දිමය. එත් ඉතිහාසය ඉතිහාසය තුළට වැද නිර්මාණය කළෝ ඔවුන්මය.

එබැවින් මෙවන් බද්ධ ප්‍රේම හෘද සහෘද දෙජාතියකට එකට එක්වීමට තවත් නිමිත්තක් කුමටද?

දුටුගැමුණු මෙන්ම විජය වෙනුවෙන් සිංහලයන්ට පිටුවක් ඇත. එත් රාමනාදන් හෝ කදීර්ගාමර් වෙනුවෙන් පිටුවක් හෝ පරිච්ජේදයක් නොමැත්තේ මන්ද? බුදු ගෙට විහාරයට පුන්‍යාණුමෝදනාවට වෙසක් සිරිත සිරිමත් කළ රාමනාදන් කදීරගාමර් සිරිමතුන් සිහිපත් නොවන්නේ මන්ද?

විජය කුමරායාගෙන් උපන් දුටුගැමුණු රජු වෙතින් ඔද තෙද ලැබු අප ජිවමානව ඇත්තේ රාමනාදන් සහ කදීර්ගාමර් තුළින් ද බැව් සිතා ගැන්මට සිතුවිළි අහිමිව ඇත්තේ මන්ද?
 
 
මේ සිවු මහා පුරුෂ උරුම පාදම ගොතා බැඳ ගෙන රොඳ බැඳ නැගිට පිපිද පිය මනින මචංලාගේ සමාජ යුගයකට කමටහන් අවශ්‍ය ඇත්තේ එබැවිනි. ඉතිහාස වෛර සිතුවිල්ල නිමාවී අතීත මෙත් සිතුවිල්ල සැම හදවතක් තෙමා ගලන්නේ එවිටය.
 
 
එවන් මචං දෙජාතික හෘද බන්ධනය ගොතා බඳින නිමිත්ත වූ විජය රජ තෙමේ ද ඔහු මුණුපූරු දුටුගැමුණු දෙපලගේ මචංලා වූ රාමනාදන් කදීර්ගාමර් සුමිතුරු විරුවන්ද බුදු සිරිත සමඟ බැදී ඇති ගිහි සිරිත් බව සිහි කර ගත යුතු ය.


ග්‍රාමවාසයෙන් වනවාසයට -(වායාම 15) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වායාම පසුගිය ලිපි මෙතනින්




 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58