1200 x 80 DMirror

 
 

 
කාලෙක‍ට පස්සෙ අපේ චන්දන ප්‍රසන්නව හම්බුනා. රටේතොටේ දේශපාලනය ගැන කතා කර කර ඉන්න අතරෙ පාස්පෝට් ගන්න පෝලිම් ගැහෙන
ජනසන්නිපාතය ගැනත් කතා වුනා.
 
‘පුළුවන්කමක් තියෙන හැමෝම වගේ යන සීන් එකක් තියෙන්නෙ. ලංකාවෙ ඉඳලා ගොඩඒමක් නෑ කියන එක පොදුවෙ ඇත්තක් විදිහට මිනිස්සු බාරඅරන් ඉවරයි..’
 
චන්දන කියන්නෙ අමුම ඔබ්ජෙක්ටිව්, ඒ වගේම පෙසිමිස්ට්, ඒ හින්දම නරුම වගේ පේන, නමුත් තියුණු අදහස්ධාරියෙක්. විශේෂයෙන්ම දේශපාලනය ගැන උගේ කියවීම් හරිම අලුත්, මුවහත්.
 
උඹ ඔය ටික ලියපංකො. නැත්තං වීඩියෝවක් කරපංකො.. මං නිතර ඌට කියනවා.
 
‘වැඩක් නෑනෙ බං. ඕවා හැමෝම දන්නවා’ ඌ නොකෙරෙනවාදය දානවා.
 
‘හැමෝම රට යනවා කියන එක රියැලිටියක් විදිහට ප්‍රසිද්ධියේ දේශපාලනිකව බාරගන්නයි තියෙන්නෙ’ චන්දනයාගෙ අදහස ඒක.
 
ලංකාවෙ මිනිස්සු රට අතෑරලා යන එක දරුණු ප්‍රශ්නයක් විදිහටයි අපි සාමාන්‍යයෙන් දකින්නෙ. ඒ හින්දම මේ රටට ඔබව අවශ්‍යම මොහොතයි වගේ ඉමෝෂනල් බයිලා කෙලිමින් මේ රටේම ලගින්නට මිනිස්සු පෙළඹවීම තමයි රාජ්‍ය සහ දේශපාලනික මට්ටමෙන් සිද්ද වෙන්නෙ. රටේ මානව සම්පත රටට අහිමිවීමක් විදිහට තමයි මේ එක්සෝඩස් එක කියවමින් ඉන්නෙ.
 
  
චන්දනගෙ යෝජනාව වෙනස්. මිනිස්සු පුද්ගලිකව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ගන්න තීරණ රටක් හෝ ඒ වගේ ඇබ්ස්ට්‍රෑක්ට් සංකල්පයක් වෙනුවෙන් යටපත් කරන්න ඕන නෑ. ඒක කොහොමත් වෙන්නෙත් නැති අතර ඒක බොරුවක් විදිහට මාධ්‍යවල, සෝෂල් මීඩියාවල පාවෙවී තියෙනවා විතරයි.
 
 
ඒත් ඇත්තටම මේ කඩාවැටෙන ආර්ථිකයට විසඳුම පුළුවන් තරම් අපේ මානව සම්පත වෙන රටවල ආයෝජනය කිරීම වෙන්න බැරිද?
 
ලංකාවෙන් පිටරට යන මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නෙ ලංකාව දිහා බලාගෙන. ලංකාවෙ සංස්කෘතියට මෙහේ ඉන්න අපිටත් වඩා නොස්තැල්ජික මරාගෙන මැරෙන ප්‍රේමයකින් ඉන්නෙ මේ ඩයස්පෝරා ශ්‍රී ලාංකිකයො. ඩයස්පෝරාව කිව්වම දෙමළ විතරක් නෙමෙයි ලංකාවෙන් ගිහින් වෙන රටවල ජීවත් වෙන සිංහල ප්‍රජාවත් අයිති වෙනවා.
 
chandana prasna
 
චන්දන ප්‍රසන්න
 
 
මේ රටකට යන බහුතරයට තමන්ගේ සංස්කෘතික සහ දේශපාලන ජීවිතය කැප කරන්න සිද්ද වෙනවා. ඒ හින්දම ලංකාවෙ සංස්කෘතික දේශපාලන කලාපයත් එක්ක වැඩියෙන්ම අනුරාගයෙන් බැඳ‍ෙන්නෙ මේ අය. ඉන්ටර්නෙට් එක තියෙන හින්ද දැන් භෞතිකව නොහිටියත් මේ අහිමි අවකාශය සජීවීව ‍බෙදාගැනීමේ හැකියාව දැන් වැඩියි.
 
තමන්ගේ වෘත්තීය හැකියාවකින් ඒ රටවල උපයන මුදල් මේ අය පවුල්වලට, නෑදෑයන්ට, හිතමිතුරන්ට එවනවා. සමහර අය පවුල් පිටින් ගොඩදානවා කියල එකක් කරනවා. පුළුවන් අය ඉඩකඩම් සහ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කරනවා. නාට්‍ය චිත්‍රපටි තමන්ගේ රටවලට ගෙන්නගෙන ප්‍රදර්ශනය කරනවා. ආර්ටිස්ට්ලා ගෙන්නගෙන සංස්කෘතික ප්‍රසංග පවත්වනවා. 
 
ඇත්තටම මේ පිරිස ලංකාවෙ හිටියට වඩා විශාල මෙහෙවරක් ඒ රටවල ඉඳන් ලංකාව වෙනුවෙන් කරනවා.
 
මැද පෙරදිග රටවලට යන ප්‍රවණතාවය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් යන්නෙ. ඒ වෙනුවට බොහෝ අය යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තයට ආදී රටවලට යනවා. 
 
මේ රටවල දියුණු සංස්කෘතික ජීවිතය විඳිනවා. රටකට ගිය බයියෙක් වුනත් ලංකාවෙ බයියෙකුට වඩා යම් විවෘතභාවයක්, සංස්කෘතික දරාගැනීමක් ප්‍රකට කරනවා. ඇත්තටම හැම පවුලකින් එක දරුවෙක් හෝ බටහිර රටකට යවන්න පුළුවන් නම් මේ රටේ ලොකු සංස්කෘතික පෙරලියක් නොදැනීම සිද්ද වෙනවා.
 
‘හැම පවුලකින්ම එක දරුවෙක් හරි රට යවන්න අපේ ආණ්ඩුවක් යටතේ අපි පොරොන්දු වෙනවා..’
 
මේක ප්‍රසිද්ධ චන්ද පොරොන්දුවක් කරන්න ඕන කියන එකයි චන්දනගෙ අදහස.
 
  
‘මංගල වගේ කෙනෙක් හිටියා නම් බය නැතුව ඔය වගේ එකක් කියයි. ඒත් මේකෙ වෙන කිසි එකෙකුට ඔහොම එකක් කියන්න තරමෙ කොන්දක් නෑ..’
 
 
ඇත්ත ලංකාවෙ සීයට අනූවකටත් වඩා පිරිසක් බලාගෙන ඉන්නෙ පුළුවන් කොහොමෙන් හරි බටහිර රටකට පැනගන්න. අමුම අමු සිංහල බෞද්ධයෙක්වත්, කොමියුනිස්ට්කාරයෙක්වත් චීනෙට රුසියාවට‍ හෝ කියුබාවට පනින්න බලන් ඉන්නෙ නෑ. ඒක ඇත්තටම හොඳ තත්වයක්. අපි යටිහිතෙන් හරි ආශා කරන්නෙ වඩා නිදහස් සංස්කෘතික ජීවිතයකට.
 
මේ ආශාව අපිට එලියෙ පිලිගන්න පුළුවන් නම්, ඒක ඇත්තක් විදිහට බාර අරගෙන, වෙන රටවල සේවා සඳහා සුදුසුකම් ඇති පිරිස් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒක කුසලතා අපනයනයක් විදිහට වාසිදායක වෙන්න පුළුවන්. නොදැනීම සංස්කෘතික පසුගාමීත්වයත් වෙනස් වෙන්න ඒක හේතු වෙනවා.
 
චන්දනයාගෙ නරුමකමට ඌ තව කතාවක් කිව්වා.
 
‘දැන් මචං ඔය චීනෙට විරුද්ධව නිකං එන්ජීඕ වගේ ඒවට සල්ලි දාලා නාස්ති කරනවා වෙනුවට ඇමරිකාවට වුනත් තියෙන්නෙ ලංකාවෙ හැම පවුලකින්ම වගේ එකෙකුට එහේ රස්සාවක් දෙන්න. මොකක් හරි භූගෝලීය වැදගත්කමකට උන්ට ලංකාව වටිනවා නම් ඒක චීනෙ බලය ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන්ම ඉවර කරන්න පුළුවන් වැඩක්. පුතා ඇමරිකාවෙ ඉන්න හැම පවුලක්ම චීනෙට විරුද්ද වෙනවා. ඇමරිකාවෙ ආර්තිකය කියන්නෙ එතකොට ඒ පවුලට බලපාන ආර්තිකය වෙනවා. දන්නෙම නැතුව ලංකාවෙ හැම මිනිහෙක්ම ඓන්ද්‍රියවම චීනෙට විරුද්දවාදියෙක් එතකොට’
 
කොහොමටත් අපේ රටේ මිනිස්සු මේ රටවලදි පකිස්ථානුවන්ට ඉන්දියානුවන්ට වඩා හොඳ විදිහක සම්බන්ධතා ඇතුව වැඩකරන ස්වභාවයක් ගැන පොදු විශ්වාසයක් තියෙනවා. විදේශිකයන් අතර යම් මට්ටමක ආචාර ධාර්මිකබවක් පිළිබඳ පිලිගැනීමක් ඇතිකරගෙන තියෙනවා. 
 
ඒ වගේම අයින්ස්ටයින්ලා වගේ ව්‍යවසායකයො බිහිකරනවා වෙනුවට නලින්ද සිල්වා කියනවා වගේ හොඳ අනුකාරකයන් බිහිකිරීමේ හැකියාවක් අපේ සිස්ටම් එකට තියෙනවා.
 
 
ඉතින් මේක ආර්ථිකයක් නැත්නම් ආයෝජන මාර්ගයක් විදිහට දෙබිඩි නැතුව පිලිගන්න විතරයි තියෙන්නෙ. කොවිඩ්වලින් පස්සෙ ලංකාවෙ ආර්ථිකයට ඇතිවෙන ලොකුම ශක්තිය මේ පෝලිමේ රට යන ශ්‍රී ලාංකිකයන් වෙන්න පුළුවන්.
 
 
අපි තව තවත් අය රට යන්න උනන්දු කරන්න ඕන. ඒ වගේම රට යන්න පුළුවන් තරමෙ හැකියාවන් සංවර්ධනය කරන්න ඕන. ඊළඟ චන්දෙදි හැම පවුලකින්ම රට යන දරුවෙක් හදන්න ‍මහපොලොවෙ පොරොන්දුවක් ජනතාවට දෙන්න ඕන.
 
 
 
chinthana(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
 
 
 

THE LEADER TV 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා