1200 x 80 DMirror

 
 

සෑම සමාජ අරගලයකදීම ජනතාව සතුටු වෙති. නමුත් සමාජ අරගලයක් එසේ නැත්නම් විප්ලවවාදී සිදුවීමක් සමාජයක සිදු වන විට ඒ පිළිබඳව සතුටු

වෙනවා මෙන්ම එම තත්ත්වයන් සුපරික්ෂාකාරීව ඉදිරියට මෙහෙය වීමට එම අරගල කරුවන් වගබලා ගත යුතුය.

මේ මොහොත සෑම ආකාරයකින්ම ලංකා සමාජයට වැදගත් අවස්ථාවකි. ඒ ලංකා සමාජය අලුත් ආකාරයෙන් සිතන ‍ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවකින් යුතු අරගලයක් දෙසට යොමු වී තිබීම නිසාය.

 

මෙතෙක් පැවතුණු සමාජ ප්‍රවාහයන් බොහෝ විට පසුගාමී වැඩවසම් හෝ ‍ප්‍රජාතන්ත්‍රවාදී නොවන නැඹුරුවක් වෙත බර විය. නමුත් මේ ගොඩ නැගී ඇති ප්‍රවාහය අත්‍යන්තයෙන්ම ඉල්ලා සිටින්නේ ‍ප්‍රජාතන්ත්‍රවාදයයි. ගැඹුරට නොගොස් තිබුනා වුවත් මූලික එහි ඉල්ලීම් සඳහා වාර්ගික භේදයක්  හෝ ආගම් භේදයක් හෝ නැත. විරෝධතාකරුවන් පෙනී සිටින්නේ එක රටක්, එක ජනතාවක් යන පාඨයන් යටතේය. ඔවුන්ගේ සටන් පාඨ කියා පාන්නේද එයයි.

 

ලංකාව විසි එක් වෙනි සියවස වෙත ළඟා වී තිබුනේ වැඩවසම් වටිනාකම් කරපින්නා ගත් සමාජයක් ලෙසිනි. ඇත්ත වශයෙන්ම විසිඑක් වෙනි සියවසේ ලොව දියුණුම තාක්ෂණය ප්‍රයෝජනයට ගන්නා රටක් වුවත් පසුගාමී වටිනාකම් වලට වැඳ වැටෙන මට්ටමක පැවතුණි.

සිවුරු හැඳගත් තක්කඩින් රෑනක් විසින් ආගම සිර අඩස්සියට ගෙන එම සිර අඩස්සියට රටේ දේශපාලනය නතු කරගත් පසුගාමි අදහස් වපුරමින් තිබුණි.

මෙම තරුණ නැගිටීම මෙම චීවරධාරී තක්කඩියන් ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පසුපස යන්නේ නැත. එමෙන්ම ආගම සහ රාජ්‍යය එකිනෙකින් වෙන්ව පැවතිය යුතු බව කෙලින්ම නොකීවා වුවත් ඔවුන් ඉදිරිපත් කරන සටන්පාඨ තුළ එය ගැබ්ව ඇත. දේශපාලන වශයෙන් කළ යුතුව ඇත්තේ එම ඉල්ලීම් හැඩගස්වා ගන්වා ඒවා පැහැදිලි දේශපාලන සටන් පාඨ ලෙස මතුකර ඉදිරි ගොඩනැගෙන ජන හිතවාදී ව්‍යවස්ථාවක් සඳහා මෙම කරුණු ගොනු කර ගැනීමයි.

image d5c3d22554

බලාපෙරොත්තුව අපට තියේ. ( සමාජ ජාල ජායාරුපයකි)

 

කිසිදා නොවූ ආකාරයකින් ලංකා සමාජය (මේ තරුණ සමාජය) නූතනත්වය දෙසට හැරී ඇති බව මෙම අරගලය පෙන්නුම් කරයි. දැන්  එය විසින් පැහැදිලිව මුළු සමාජයේම පැතුරුනු සමාජ සංවාදයකට යොමු වන ආකාර වැඩපිළිවෙලවල් මේ තුළ ගොනු කළ යුතුය.

දේශපාලනඥයනට මෙවැනි හොරකම් සහ මැරකම් කරමින් පැවතිය හැක්කේ ලංකා සමාජය පසුගාමී නොදියුණු තත්ත්වයක පවතින්නේ නම් පමණි. නූතනත්වය යනු මිනිසුන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පාවිච්චි කිරීම පමණක් නොවේ. නූතනත්වය යනු  ස්වකීය සිතුවිලි දාමයන් ද නූතන වීමය. තම අයිතීන් පිළිබඳව ද නූතන දැක්මක් ඇතිව ක්‍රියාත්මක වීමය.

 

මෙම අරගලය ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ නිදහසයි. එසේ නැත්නම් ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ය. තමනට රට තුල පුරවැසියෙක් ලෙස තවකෙකුට අතනොපා ජීවත්වීමට ඇති අයිතියයි. එසේ නැත්නම් මෙය තවත් ආකාරයකට කියන්නේ නම් පසුගාමී වැඩවසම් බන්ධන වලින් මිදී නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙතට යාමට ඇති උවමනාවයි. රාජපක්ෂ පවුල වෙත ඇති විරෝධය පෙන්වන්නේ වැඩවසමවාදී බල කේන්ද්‍රයක් පැවැතීමට ඇති විරුද්ධත්වයයි.

 

පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොතිබුණාද ?


මෙහිදී අපට මතු වන ප්‍රශ්නයක් නම් මෙතෙක් පැවති පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොතිබුණාද කියාය. මගේ වැටහීම අනුව සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක් සහ නිදහස් ඡන්දයක් ලබා අප ‍ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කාරණ වන සර්වජන ඡන්දබල හිමිකරගත්තා වුවත් ඒවා ඇත්ත වශයෙන්ම අප ලබාගන්නේ අප ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වැඩවසම් පාලනයන්ට සහ වැඩවසම් වටිනාකම් නැත්නම් වැඩවසම් සංස්කෘතියට එරෙහිව අරගල කිරීම තුළින් නොවන බවය.

සමාජය තුළ පැතිරී පවතින යටපත් කිරීමේ සංස්කෘතිය වැඩවසම් බන්ධන තුල බැඳී තිබෙන අතර අධිපතිවාදයට, රජවරුන්ට, නායකයින්ට ගැතිබව ආදී සියලු දේවල් කැටිකරගත් සමාජ සංස්කෘතියකි.  දේශපාලන පක්ෂ ප්‍රධානීන් නායකතුමා, මහ රජාණෝ, අප්පච්චි, යනාදි වශයෙන්ද රාජ්‍ය නොව සංවිධාන තුල පවා පවතින සර් - මැඩම් ව්‍යවහාරයද එම රදළබවෙහිම ළකුණකි.

 tvc

මංගලගේ ෆ්‍රීඩම් හබ් කාර්යාලයට ඇතුළුවන ස්ථානයේ පළකර ඇති දැන්වීම

 

මේ තරුණ පරපුර ඉල්ලා සිටින්නේ එයින් එහා ගිය අලුත් සංස්කෘතියකි. මේ සටනේ නියමුවන් ලෝකයේ විවිධ රටවල අරගලවලදී සහ තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් විසින් කරන අරගල වලින් ඉගෙන ගනිමින් ලෝකය පුරා තිබෙන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළ මිනිසුන් දිනා තිබෙන අයිතීන් සහ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අය කරන සටන් දැක හඳුනාගත් එසේ නැත්නම් කියවා හඳුනාගත් කොටසක් බව පෙනෙන්නට තිබේ.

 

තමන්ගේ රට තුළ පවතින පසුගාමී සංස්කෘතියට එරෙහිව නූතන සංස්කෘතියක් ආයෝජනය කරමින් ඊර්ශ්‍යාව සහ යටපත් කිරීම වෙනුවට ආදරය සහ සහයෝගය ආදේශ කරමින් ලංකා සමාජය අළුත් මගක ගෙන යාම සඳහා දරන උත්සාහයක ආරම්භයක් ලෙස මෙය සැළකිය යුතුය.

 

ඔවුන් නූතනත්වය දෙසට හැරුනු අලුත් සංස්කෘතියක් ඉල්ලා සිටින බව, අලූත් සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින බව ඔවුන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ අරගලය ම නූතන ආකාරයකින් එසේ නැත්නම් ලංකාවට නුහුරු ආකාරයකින් කරමිනි.

මෙතෙක් ලංකාවේ පැවතුණු අරගලවලට පක්ෂ හෝ සංවිධාන මෙහෙයුමක් කරනු ලැබූ අතර ඒවා බොහෝ විට පැවතුනේ සීමිත සීමාවන් ඇතුළත කොටුවූ ආකාරයකිනි. නමුත් මෙම අරගලයේ විශේෂයෙන් දැකිය හැකි දෙයක් වන්නේ තරුණ තරුණියන් විශේෂයෙන්ම තරුණියන් (මීට ප්‍රථම පුරුෂයා පමනක් පාරට ආ නමුදු) විශාල වශයෙන් මෙම අරගලයේ කොටස්කරුවන් වී ඇති බවයි.

ඒවාගේම ඔවුන් ගී ගයමින් සතුටු වෙමි ම විරෝධය ප්‍රකාශ කරන ආකාරයයි. ගිටාරය අතට ගත් තරුණ තරුණියන් එකට තුටුවෙමින් විරෝධය ප්‍රකාශ කිරීම ලංකාව සමාජයට අලූත් සංස්කෘතියකි.

278238342 10158792180322215 6621012924833693358 n

ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතීන් දියුණුවූ රාජ්‍යයන් තුල මෙම අරගල ආකාරයන් දකින්නට ලැබෙනවා වුවත් ලංකාවෙහි මෙය මේසා විශාල පරිමාණයෙන් අප අත් විඳින්නේ පලවෙනි වතාවට බව මගේ වැටහීමයි. එනිසාම මා මෙය දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් සඳහා ‍ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් ඉල්ලමින් අවතීර්ණ වන සටනක් ලෙසයි.

නමුත් මෙය සමාජයේ සියලු ප්‍රශ්ණ වටහා ගත් සටන්කරුවන් ගෙන් පිරි එකක් යැයි මම නොසිතමි. එය සටන තුලම හැඩගැසෙමින් එයට තව එකතුවෙමින් සංවර්ධනය වියයුතු බව පැහැදිලිය.

උදාහරණ ලෙස ආරම්භයේ දී තිබුණු සටන්පාඨ වලට අද වෙන විට අලුතින් එකතු වී ඇති ආකාරයත්, ඒ වාගේම අද වන විට විවිධ කණ්ඩායම් විවිධ තලවල ක්‍රියාදරයන්, ගායකයින් ආදී විවිධ කොටස් මෙයට අලුතෙන් එක් වෙමින් පවතී. මෙය හොඳ වර්ධනයක් බව මගේ වැටහීමයි.

FQMrG7SXIAYZBM4 696x928

ජාතිවාදී තුරුම්පුව තව දුරටත් වලංගු නැත! (සේයා -srilankabrief.org)

 

අප හොඳින් දන්නා පරිදි ලෝකයේ කිසිම තැනක සියලුම සටන් ජයග්‍රහණ වලින්ම අවසන් වී නොමැත. නමුත් සෑම සටනක්ම විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතීන් වෙනුවෙන් ඇති කරන ජනතා අරගල සෑම එකක්ම එය ආරම්භ වීමම ජයග්‍රහණයකි. එසේම වැඩවසම් පසුගාමී සංස්කෘතික වටිනාකම් අගයන සමාජයක හිරවී සිටින සමාජයක් එයින් නිදහස්වීමේ උවමනාවන් සඳහා පෙනී සිටින සටනක් ඇති වීමම ජයග්‍රහණයකි.

 

අපට ලෝකයේ නොයෙක් තැන්වලින් මෙවැනි අරගලවලදී ලැබූ අත්දැකීම් වලින් ඉගෙන ගත හැක. අමෙරිකාවේ ඔකියුෆයි සියාටෙල්, ස්තාන්බුල්හි occupy Gezi-Park වැනි අරගල එසේ නැත්නම් ලොව විවිධ නගරවල ඇති වූ අරගල වල අත්දැකීම් විවිධාකාරය. පිලිපීනයේ මාකෝස් පලවා හැරීමේ සටන වැනි ජයග්‍රහන මෙන්ම ධනාත්මකව සහ සමහර පරාජයන් උසුලා ගනිමින් අවසන් වී  ඇත. 1968 ප්‍රාග් වසන්තය, බර්ලින් සහ පැරිස් නැගිටීම් ආදී අත්දැකීම් ලොව පුරා ඇත.


එනිසා අද පාලකයින් මෙම අරගලය හිංසනය දෙසට යොමු කර ගැනීමට උත්සාහ කළත් අප පැහැදිලිවම හිංසනයට යොමු නොවී මෙය ‍ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ පවත්වා ගැනීමට වෙර දැරිය යුතුය.
 
 
ඒ වාගේම රටතුල විරෝධතා අතර යම්කිසි සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යය. එසේ නොකර දැනට මතුවී ඇති ආකාරයෙන් පමණක් සටන ඉදිරියට ගෙන ගියහොත් බොහෝවිට නරක අත්දැකීම් ලැබීමටද ඉඩ ඇත. එනිසා අද මෙම තරුණ කොටස් සහ විවිධ ක්‍රියාධරයන් සහ සංවිධානයන් අතර සන්ධානයක් හෝ ජාල ගතවීමක් ගොඩ නගා ගැනීම අත්‍යාවශ්‍ය සහ ඉක්මනින් අවශ්‍ය කාරණයක් බව මම කලපනා කරමි. 
 
 
 
ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් ඉල්ලන්නේ පොදු ප්‍රශ්න එක්ව විසඳමු යන්නයි. එය මෙතෙක් ලංකා සමාජය තුල දකින්නට නොතිබුණු ලක්ෂණයක් වන අතර විවිධත්වයට ඉඩහැරීම සහ පොදු වුවමනාව සඳහා එක්වීම යන සංකල්පය මේ තුළ ගැබ්ව ඇත.

මෙතෙක් ලංකා සමාජය තුළ පැවතුණු පුංචි පවුල යන ආත්මාර්ථකාමි පවුල දියුණු කරගැනීම පමණක් සඳහා සියල්ල කැප කර දැමීම, ඕනෑම දෙයක් ඒ සඳහා කිරීම වැනි දේවල් වලින් එහා ගිය අප සැමට බලපාන පොදු ප්‍රශ්න අප එක තැනකට එක් වී විසඳා ගනිමු යන්න මේ තුළ ගැබ්ව ඇත. මෙය ඉතා වටිනා  සමාජ දේශපාලන වර්ධනයක් සේ මම දකිමි.


ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු! - රංජිත්  හේනායකආරච්චි(රංජිත් හේනායකආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

බර්ලිනයේ සිට..



 

Leader Whats app

 

 

 

 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා