1200 x 80 DMirror

 
 

"අපි හැමෝගෙම දුෂ්ටයා එකයි." මේ පසුගියදා පැවති ජනතා විරෝධතාවකදී දක්නට ලැබුණු නිර්මාණශීලී සටන් පාඨයකි.



"අපි හැමෝම" යනුවෙන් උච්ජාරණය කරන්නට හැකි වීමම දේශපාලනිකව වැදගත් සංසිද්ධියකි. එයින් කියැවෙන්නේ සාමූහික දේශපාලන විෂයක පැන නැගීමකි. එම සාමූහික විෂය වනාහී ජනතාවයි. ජාති, ආගම්, පක්ෂ, පාට, ස්ත්‍රී-පුරුෂ, කුළමළ බේදවලින් තොර ජනතාවයි.

ඓතිහාසික මාර්තු 31 මිරිහාන විරෝධයේදී එක්තරා තරුණයෙකු සන්නද්ධ පොලිස් හමුදා බලකායන් ඉදිරියේ සිටගෙන මේ කාරණය හඬ ගා පැවසීය. "සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකයි. අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න. අපි තමයි ජනතාව."





ජනතාව නමැති පොදුභාවය නිර්මාණය වීම සඳහා දුෂ්ටයෙකු වුවමනා වේ. විවිධ වෙනස්කම් සහිත ජනකොටස් සියල්ලගේම නොමඳ විරෝධයට ලක් වන පසමිතුරෙකු වුවමනා වේ. එම දුෂ්ට පසමිතුරු බලවේගය වන්නේ ජනතා-ද්‍රෝහී පාලක කල්ලියයි.

ජනකොටස් අතර කොතරම් වෙනස්කම් තිබුණද තම පොදු සතුරා වන්නා වූ දුෂ්ට පාලකයින්ට එරෙහි වීම යන කාරණයේදී ඔවුන් අතර ඇත්තේ සාම්‍යතාවකි. ඔවුනතර පවතින වෙනස්කම් මුළුමනින්ම මැකී නොගියද ඒවා යටපත් කරන්නට පොදු සතුරාට එරෙහි විරෝධය සමත් වේ.

 

අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් ජනතාවාදී නිමේෂය (populist moment) යනුවෙන් හඳුන්වන්නේ මෙවන් තත්ත්වයකි. අප දැන් ලංකාව තුළ ප්‍රවේශ වී සිටින්නේ එවන් ජනතාවාදී නිමේෂයක් තුළටය.

 

නව සංයුක්ත තත්ත්වය


අද දවසේ පැන නැගී ඇති බොහොමයක් විරෝධතාවල සුවිශේෂත්වය වන්නේ ඒවා කිසිදු පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීම අනුව නිර්මාණය වූ විරෝධතා නොවීමයි. සැබවින්ම පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදෙන බොහොමයක් පක්ෂ ආරම්භයේදී එම විරෝධතාවලින් කිසියම් දුරක් පවත්වා ගන්නට පෙළඹුණු බව ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය.

ඒවා "අසංවිධානාත්මක සහ නායකත්වයකින් තොර උද්ඝෝෂණ" ලෙසින් හැඳින්වූ ඇතැම් පක්ෂ තමන් ඒවායෙහි වගකීම භාර නොගන්නා බව හැඟවීය.

නමුත්, පාර්ලිමේන්තුවාදී දේශපාලනය ඉක්මවා යමින් ජන අරගල දේශපාලනය වේගයෙන් ඉදිරියට ආවේය. ඒ කොතෙක්ද යත්, ප්‍රධාන ධාරාවේ පක්ෂවලට ඉතාම ඉක්මණින් නව දේශපාලන තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ස්වේච්ජාමය ජනතා උද්ඝෝෂණවලට සහභාගී වන්නට හෝ තමන්ගේම නායකත්වය යටතේ උද්ඝෝෂණ සංවිධානය කරන්නට සිදු විය.

ගතානුගතික පක්ෂ සහ සංවිධාන ජනතා අරගලය පසුපස ගමන් කරන්නට පටන් ගත්තේය. 

 

මේ අනුව, අප දැන් ඇතුල් වී සිටින්නේ නව දේශපාලනමය සංධිස්ථානයකට බව ඉතාම පැහැදිලිය. මෙම නව සංධිස්ථානය තුළ මෙතෙක් කලක් පැවති පාර්ලිමේන්තු දේශපාලනය මුල් කොටගත් දේශපාලන කාල සටහන තවදුරටත් වලංගු වන්නේ නැත. පසුගිය කාලයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අවකාශය තුළ දේශපාලන විශ්ලේෂණ වෙනුවට ආදේශ වී පැවති දේශපාලන අනාවැකි පළ කිරීම් කිසිවක් තවදුරටත් වලංගු වන්නේ නැත.

 

එම අනාවැකි පළ කිරීමේ සරල අභ්‍යාසය තුළ ජනප්‍රිය මාතෘකාව වී තිබුණේ 2024 සහ 2029 මැතිවරණවලදී බලයට පත් වනු ඇත්තේ කවර නායකයෙක්ද යන්නයි. 2024 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ නිසැකවම යළිත් බලයට පත් වනු ඇතැයි ඇතැම් පඬිවරුන් ඉතාම විශ්වාසයෙන් යුතුව අනාවැකි පළ කළහ.

නමුත්, වත්මන් තත්ත්වය තියුණු ලෙස තේරුම් ගැනීමට නම්, අප දැන්වත් දේශපාලන අනාවැකි පළ කිරීමේ සිට බරපතල දේශපාලන විශ්ලේෂණ වෙතට යොමු විය යුතුව ඇත.


2698

අප පිවිසී සිටින්නේ නව දේශපාලන කාල-අවකාශයක් තුළට බව වටහා ගැනීම සඳහා, ලෙනින්ගේ වචනයෙන් කිව හොත්, අපට දැන් අවශ්‍ය වන්නේ "නව සංයුක්ත තත්ත්වය පිළිබඳ නව සංයුක්ත විශ්ලේෂණයකි."  



නව සංයුක්ත තත්ත්වය පිළිබඳව කළ හැකි ක්ෂණික නිරීක්ෂණ කිහිපයක් මෙසේය.

# ජනතා අරගලය තුළ නාගරික මධ්‍යම පන්තික කොටස්වල කැපී පෙනෙන දායකත්වයක් දැකිය හැකි වුවත් අරගලය බහු-පන්තික වූවකි.

# ආර්ථික ප්‍රතිවිරෝධය පෙරට පැමිණ තිබේ.

# මෙතෙක් දේශපාලනීකරණයට ලක් නොවී පැවතුණු සමාජ ශ්‍රේණීන් දේශපාලනික ක්ෂේත්‍රයට වේගයෙන් කඩා වදිමින් තිබේ. එමගින් රාජ්‍යයේ ඓන්ද්‍රීය අර්බුදයක් ජනිත කොට තිබේ.

 

ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි ඓන්ද්‍රීය අර්බුදයක් නිර්මාණය වීමට බලපාන සාධක අඩුතරමින් දෙකක් පවතී. පළමුවැන්න වන්නේ සාම්ප්‍රදායික පක්ෂ නායකත්වයන් පසුපස සංවිධානය වී සිටි ජනයා එම පක්ෂ නායකත්වයන්ගෙන් වියෝ වීමයි. දෙවැන්න වන්නේ එතෙක් දේශපාලනීකරණය වී නොසිටි ජන කණ්ඩායම් (නිදසුනක් ලෙස, ගොවිජන ප්‍රජාව) දේශපාලනීකරණය වීමයි.

 

මෙහි ප්‍රතිපලයක් ලෙස එතෙක් පැවති දේශපාලන බලතුලනය කැපී පෙනෙන ලෙස පරිවර්තනයට ලක් වේ. දේශපාලනිකයේ ක්ෂේත්‍රය වඩා විවෘත වේ. එතෙක් වියනොහැකියාවන් ලෙස පෙනුණු ඇතැම් දේ වියහැකියාවන් බවට පත් වේ.

අනාගතය අයිති වන්නේ විවෘත වූ නව අවකාශය තියුණු ලෙස හඳුනාගෙන එයට මැදිහත්වීමට සමත් වන්නා වූ බලවේගයන්ටය.

අර්බුදයේ නිමේෂය අතීරණාත්මකභාවයේ නිමේෂයකි. එනයින් එය දේශපාලනිකව ඉතාම වැදගත්ය. අතීරණාත්මක නිමේෂයක් තුළ ගනු ලබන දේශපාලනික තීරණ මගින් ඉතිහාසය නැවත ගොඩ නැගිය හැකිය. දේශපාලන සංසිද්ධියක් නිර්මාණය කළ හැකිය.

"සීල් කළ දුම්රියක නැගී ආ ලෙනින්" යනු එවන් සංසිද්ධියක කතෘකයෙකි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව රුසියාව තුළ උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය තුළ වී.අයි. ලෙනින් සමාජවාදී විප්ලවයක වියහැකියාව දුටුවේය. ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයේ සෙසු බොහොමයක් නායකයින් පවා පළමුව එය පිළිගත්තේ නැත.


ස්විට්සර්ලන්තයේ සිට ජර්මනිය සහ ෆින්ලන්තය ඔස්සේ පෙට්‍රොග්‍රාඩය බලා සීල් කළ දුම්රියක නැගී රහසිගතව පැමිණෙන අතරවාරයේ බිමට නැඹුරු කරගත් හිසින් යුත් බෝල්ෂෙවික් නායකයා විසින් රචිත "අප්‍රේල් ප්‍රවාද" නම් පත්‍රිකාවේ සාරය වූයේ එයයි. රුසියානු ධනපතීන්ගේ තාවකාලික ආණ්ඩුවට සහභාගී නොවන ලෙසත්, ඒ වෙනුවට විප්ලවකාරී වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් ලෙනින් තම පක්ෂ සගයන්ට යෝජනා කළේය. රුසියානු ඓන්ද්‍රීය අර්බුදය විප්ලවකාරී පරිවර්තනයක් කරා දිශානත කරන ලද්දේ එම කුඩා පත්‍රිකාව විසිනි.


ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා පෙරට!      

කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා පවසන්නට යන්නේ වත්මන් ලංකාව තුළ සමාජවාදී විප්ලවය සඳහා ඓතිහාසික තත්ත්වය නිර්මාණය වී තිබේය වැනි කතාවක් නොවේ. නමුත්, අප සමාජයේ ඉතාම වැදගත් ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් ඇති කර ගැනීම සඳහා වත්මන් ජනතා අරගලයේ නිමේෂය භාවිතා කළ හැකිව තිබේය යන්නයි.

ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක විභවතාව මතුව තිබේ යැයි කීමට පවා අප පසුබට විය යුතු නැත. 2015 ජනවාරි ආණ්ඩු මාරුව විප්ලවයක් යැයි අතිසරල ලෙස නම් කරනු ලැබීම නිසා දැන් බොහොමයක් දෙනා එම යෙදුම භාවිතා කරන්නට මැලි වෙයි.

 

"ජනවාරි විප්ලවයේ" අරුතින් නම් ඕනෑම ආණ්ඩු මාරුවක් යනු විප්ලවයකි. නමුත්, විප්ලවයක් යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ඓතිහාසික ඛණ්ඩනයක් (historic rupture) ලෙසින් හඳුනාගත හැකි සංසිද්ධියකි. ඛණ්ඩනයකින් පසුව අප සිටින්නේ නව පිළිවෙලක් තුළය. ඉන්පසුව යළිත් පැරණි පිළිවෙල කරා ගමන් කිරීමක් නැත.

 

නිදසුනක් ලෙස, රාජාණ්ඩුවාදය පෙරළා දමා ජනතා ස්වාධිපත්‍ය පිළිගන්නා පාලන පිළිවෙලක් ඇති කරගත් පසුව ආපසු පැරණි රාජාණ්ඩුවාදී පිළිවෙල කරා යාමක් නොමැත. මීට වෙනස්ව, ඊනියා ජනවාරි විප්ලවයෙන් නිර්මාණය කරනු ලැබූ සියලු සීමිත ප්‍රතිසංස්කරණ ඉතාම ඉක්මනින් ආපසු හරවන ලද අතර 20 වන සංශෝධනය එම ආපසු හැරවුමේ පරිසමාප්තිය යැයි කිව හැකිය.

අද අපට අවශ්‍ය වන්නේ එවන් විහිළුවක් බවට පත් නොවන ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකි. ආපසු හැරවිය නොහැකි ආකාරයේ රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකි.

c1 4271018

එවන් විප්ලවීය පරිවර්තනයක් සඳහා අවශ්‍ය මූලික සාධකය වන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජ සම්මුතියකි (social contract). මගේ අදහස වන්නේ එවන් සමාජ සම්මුතියක් සඳහා අවශ්‍ය තත්ත්වය දැන් නිර්මාණය වී තිබේය යන්නයි.

 

මෙතෙක් කලක් ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය පදනම් වූ සමාජ සම්මුතිය වනාහී ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය මත පදනම් වූ සම්මුතියකි. අඩු තරමින් 1950 දශකයේ මැදභාගයෙන් පසුව ජනතාව යන්න නිර්වචනය වීමේදී ජනවාර්ගිකත්වය සහ ආගමික අනන්‍යතාව කේන්ද්‍රීය වැදගත්කමක් ගත්තේය.

කොටින්ම මෙරට නිර්මාණය වූයේ සිංහල ජනතාවක් සහ දෙමළ ජනතාවකි. එසේම පාලකයා සහ පාලිතයා අතර සම්මුතිය ගොඩ නැගීමේදී තවත් වැදගත් මාධ්‍යයක් වූයේ අනුග්‍රාහක දේශපාලනයයි. මහජන දේපළ අවභාවිතය, දුෂණය, සොරකම යනාදී සියල්ල ප්‍රභවය ලබන්නේ මෙරට සැබවින්ම පවත්නා සමාජ සම්මුතිය අනුග්‍රාහක දේශපාලනය මත පදනම් වීම නමැති කාරණයෙනි.

අද දවසේ මතුව ඇති ඉතාම වැදගත් දේශපාලන වර්ධනයක් වන්නේ දැනට පවතින සමාජ සම්මුතියේ ඉහත කී පදනම් දෙකම අභියෝගයට ලක් කරමින් නව ප්‍රජාතාන්ත්‍රික සමාජ සම්මුතියක් නිර්මාණය කර ගැනීමේ නිෂ්ටාව කරා ගමන් කිරීමේ කිසියම් විභවතාවක් නිර්මාණය වෙමින් තිබීමයි.


ලාංකීය ජැකොබින් ව්‍යාපාරයක්

නමුත්, ප්‍රශ්නය වන්නේ එම කාර්යභාරය ඉටු කළ හැක්කේ කා හටද යන්නයි. මගේ අදහස නම් පාර්ලිමේන්තු දේශපාලනය මූලික කරගෙන වැඩ කරන කිසිදු පක්ෂයකට එම කාර්යභාරය සපුරාලිය නොහැකි බවයි. මන්දයත්, එම පක්ෂ ආණ්ඩු බලය සඳහා කරන තරඟයේදී ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ පුළුල් අරමුණු සම්මුතිගත කිරීමට ඉඩ තිබෙන නිසාය.

 

එසේම ආණ්ඩුක්‍රමික ප්‍රතිසංස්කරණවලට ඔබ්බෙන් යන හරයාත්මක ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් කරා යාමට නම් අපට ජනසමාජය තුළ මුල් ඇදගත හැකි සංවාදයක් සහ ක්‍රියාකාරීත්වයක් වුවමනා වේ. එහිදී රාජපක්ෂවරුන් ගෙදර යැවීම සහ සොරාගත් මහජන දේපළ රජයට පවරා ගැනීම පිළිබඳ සීමිත අරමුණෙන් බොහෝ ඈතට ගමන් කළ යුතුව ඇත.

 

එසේම, ප්‍රංශ විප්ලවයේදී ජැකොබින්වරුන් කළාක් සේ ග්‍රාමීය ගොවිජන ප්‍රජාව, නාගරික කම්කරුවන්, විරැකියා තරුණ ප්‍රජාව, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළු ආන්තික සමාජ කොටස් ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් සඳහා වූ ව්‍යාපාරයකට ඇතුළත් කරගෙන ඔවුන් නවීකාරක ලාංකීය ජාතියක් ගොඩ නැගීමේ සක්‍රීය කතෘකයන් බවට පත් කළ යුතුව ඇත.

ආර්ථික පීඩනය පිළිබඳ කාරණය වත්මන් ජන අරගලයේ කේන්ද්‍රීය සාධකයක් වී ඇති බැවින් ආර්ථික සහ සමාජ අයිතීන් පිළිබඳ මූලධර්ම නව සමාජ සම්මුතියේ මූලික පදනම් බවට පත් කළ යුතුව ඇත.

 

රැඩිකල් වාමාංශය විසින් භාරගත යුතුව ඇත්තේ වත්මන් ජන අරගලය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා පරිවර්තනය කිරීමේ ජැකොබින් භූමිකාවයි (ජැකොබින් හිංසනයෙන් තොරව).

 

මේ ගැන ඉදිරියේදී විස්තෘතව ලියන්නට අදහස් කරමි.                                                                                                                              


sUMITH cHAMINDAc(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58