1200 x 80 DMirror

 
 

මිනිස්සු තමන්ගේ දුක කියන්න, ඉල්ලීම දිනාගන්න පාරට බැසීම අමුතු දෙයක් නෙවෙයි. එක හැම කාලයකදීම සිද්ධ විය..



ඒත් මෙවර ටිකක් අමුතුයි. මීට කලින් මෙහෙම මේ රටේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් කාගෙවත් දේශපාලන බලපෑමකින් තොරව, සාමුහිකව රට පුරාම සිදු වෙන මහජන නැගිටීමකට එකතු වෙලා නැහැ.

මේ රටේ මහජනතාවක් නැහැ.. කියල පහුගිය කාලය පුරා මතයක් නිර්මාණය වෙලා තිබුණෙත් රටේ මිනිස්සුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ නිශ්ක්‍රීය බව නිසා.. 'ජහමනයා ' කියලා නම් පට බැදුනේ ඒ නිසා..

ඒත් මිනිස්සු තමන්ට දේශපාලනයක් තිබෙන බව දැන් පෙන්වමින් සිටී..

 

රටේ ඉතිහාසය පැත්තෙන් බැලුවොත් මෙය ඉතාම සාධනීය තත්වයක්.  තමන්ව වහලුන් මෙන් බැඳදමමින්, ගොනා සේ දක්කවමින් සිටින දේශපාලකයාට, පක්ෂවලට තවදුරටත් යට වීම මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි. 

 

අද දේශපාලන පක්ෂ කියල රංචු ගැහිලා ඉන්න කණ්ඩායම් ඉතිහාසයේ මෙතරම්ම අසරණ වෙච්ච අවස්ථාවක් තිබුණේත් නැහැ.. මහජන නැගිටීම් ප්‍රතික්ෂේප කරපු, ජනතාව වෙනුවෙන් ඒ වගවීම බාරගන්න බෑ කියපු මේ අයට නැවත ජනතාව ඉදිරියට යන්න බැරි තරමට අසරණ වෙලා. යන්න බෑ. මිනිස්සු ගහල එළවයි කියලා බයයි.


මහජන නැගිටීම විය යුතුම දෙයක්


image 085162e918

කොහොම නමුත් මේ මහජන නැගිටීම මේ මොහොතේ විය යුතුම දෙයක්. රටේ පුරවැසියෝ විදිහට පහසුවෙන් නිදහසේ ජීවත් වීමට ඇති අවස්ථාවන් නැති වෙන කොට, තමන්ට ඒ ජීවිතය ලබා දෙන්නම් කියල පොරොන්දු වෙච්ච පාලකයන් ඒ වගකීම අත් හැරල තමන්ව තවතවත් පීඩාවට පත් කරන කොට ඒ පාලකයන් පන්නා දමන්න මිනිස්සු නැගිටින්න ඕන.  

රජයේ ආදායම් අහිමි වීම, විදේශවිනිමය අහිමි වීම, තෙල් ගෑස් අහිමිවීම, ආහාර හිඟවීම ආදිය මිනිස්සුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා රජයේ, රජය කරවන ආණ්ඩුවේ වගකීමක්.

එහෙත් තවම පොදු වුවමණාවන් වෙනුවෙන් නැගිට්ටේ නාගරිකව පැලපදියම් වෙලා ඉන්න පහළ මධ්‍යම පාන්තික ප්‍රජාව සහ එතැනිනුත් පහළ නාගරික පීඩිත  පිරිස්.. අති බහුතරය එහෙම අය. කම්කරු නැතිනම් වැඩ කරන ‍රැකියා හිමි ප්‍රජාව සම්පූර්ණයෙන් මෙතන නැහැ. ඒ වගේම ගොවි ජනතාව තවම පාරට බැස්සෙ නැහැ. එයාලට තවම අර්බුදය දැනෙන්න ගන්න තැනට ඇවිත් නැහැ..හැමදාම විඳින පීඩාවන්ට වඩා දෙයක් තවම දැනිලා නැහැ.

මොකද ප්‍රශ්න තිබුණත් යැපීම් මාර්ග තවම සුරක්ෂිතයි. ඒත් තව වැඩි කාලයක් එහෙම තියෙන්නේ නැහැ. මේ කම්කරු සහ ගොවි ජනතාව පාරට බැස්සොත් ඒක විප්ලවීය තත්වයක් වෙන එකත් වලක්වන්න බැහැ.

 

මේ නාගරික ප්‍රජාවට තවත් දරන්න බැරි තරමට තත්වයන් දරුණු වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ජීවන පැවැත්ම, විලාසයන් අර්බුදයට ගිහින්. හිටපු තැනින් පහලට වැටිලා. ව්‍යාපාර.., ආදායම්.., ආදිය අහිමි වෙලා. සංස්කෘතික පදනම් විනාශවෙලා. නිදහස් විනෝදකාමී ජීවිතය අහිමි වෙලා, සාමාජීය පැවැත්ම අනතුරක. අනාගත අපේක්ෂා බිඳ වැටිලා.. 

 

මේ බහුතරය තමයි ගෝඨාභය රාජපක්ෂව බලයට පත් කළේ


මේ බහුතරය තමයි ගෝඨාභය රාජපක්ෂව බලයට පත් කළේ. එයාලා බලාපොරොත්තු වුණේ තමන්ගේ ජීවන තත්වයන් තව ඉහළට අරගෙන, ආරක්ෂිතව සුව පහසුව ජීවත් වීම අවස්ථාවන් ගෝඨාභය කරල දෙයි කියලා. ගෝඨාභය එහෙම පොරොන්දු පිට පොරොන්දු දුන්නා. ඒත් එහෙම වුණේ නැහැ. මුලින්ම රිදෙන්න පහර වැදුනේ මේ අයට.

මේ නාගරික ජීවන පැවැත්මේ රොඩුවලින් යැපෙන නාගරික පහළම පන්තියනුත් මේකෙන් අර්බුදයට ගියා..ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය කරන පෝෂණය නැති වුණා.. පසුගියදා ජනාධිපතිවරයාගේ නිවස වැටලුවේ මේ දෙගොල්ල.

දැඩි විනය එක වෙලාවකටත්, දැඩි ප්‍රචණ්ඩත්වය එක වෙලාවකටත් ආවේ මේ දෙගොල්ලන්ගේ ක්‍රියාකාරිත්වයෙ වෙනස නිසා.. ඒ වෙච්ච කිසිවක් වැරදි නැහැ. ඒ ඒවායේ ස්වභාවය.

 

පීඩනය දැඩි වෙන්න වෙන්න ඊට එල්ල වන ප්‍රතිචාරයත් එවැනිමයි.. ඉදිරියේදීත් ඒ තත්වයන් බලාපොරොත්තු විය යුතුයි.. කොහොමත් කිරි එරෙන්න නම් අඬන්න ඕන.. හයියෙන් අඬලා කෑ ගහල ඉල්ලීම් දිනාගන්න ඕන.. ඒත් බැරිනම් ප්‍රචණ්ඩ වෙනවා හැර වෙන විකල්ප නැහැ. ඒක විනාශයකින් හෝ ජයග්‍රහණයකින් කෙලවර විය හැකියි. ඒත් වෙන උත්තර නැහැ. මේ කලමණාකරනය කරන්න ශක්තිමත් දේශපාලනික බලවේගයක් නොමැති තැන විනාශකාරී ප්‍රතිඵල අත්වීමේ ඉඩකඩ වැඩියි.

 

ආණ්ඩුවත් විපක්ෂයත් එකම විදිහට අසමත් වෙච්ච කාලයක්


විපක්ෂ දේශපාලන පක්ෂවල බොරුව, රැවැටීම සහ ඔවුන්ගේ අසමත් කම, දියාරු කම හමුවේ ඔවුන්ට ජනතාව වෙනුවෙන් ඉදිරියට දැන් එන්න බැහැ. මේක නරකම තත්වයක්.. ආණ්ඩුවත් විපක්ෂයත් එකම විදිහට අසමත් වෙච්ච කාලයක් මේක.  

අපි දන්නේ නෑ හෙට දවස කොහොම වෙයිද කියලා. නමුත් කුමක් හෝ බරපතල දෙයක් වෙනවා..ඒක ස්ථිරයි.  මිනිස්සු වියරු වැටිලා ඉන්නේ.

දැන් මේවා මෙහෙම වෙන්නෙ ඇයි.? මේක හරියට කියව ගන්නෙ නැතිව උත්තර හොයන්න බැහැ.

මේ අපි මුහුණ දෙන අර්බුදය මොකක්ද?  කියන එක තේරුම් ගැනීම අපි එකිනෙකාගෙන් වෙනස්.. තම තමන්ට මුහුණ දෙන්න වෙන අර්බුදයේ ප්‍රමාණයන්, හැඩයන්, එහි වේදනාවන් වෙනස්..  

තමන්ගේ දැනුම අවබෝධය එක්ක, සමාජ තත්වයන් එක්ක, තමන්ගේ ආර්ථික හැකියාවන් එක්ක., තනතුරු තානාන්තර එක්ක,  මේ අත්දැකීම් වෙනස් වෙනවා.. මේ නිසා මේ අර්බුදය මොකක්ද, මේ අර්බුදයන්ට හේතුව මොකක්ද,? මේවායෙන් ගැලවෙන්නෙ කොහොමද?  කියන එක ගැන තිබෙන තේරුම් ගැනීම් වෙනස් වෙනවා..  


තුවාලවලට ප්ලාස්ටර්


මේ නිසා මේක ගැන කතා කිරීමත් බොහෝ දිර්ගව පුළුල්ව කළ යුතු වෙනවා. ඒවගේම මේ කරුණු කාරණා සංකීර්ණයි. මොකද එකම දේ ගැන මත ගනනාවක් තිබෙන්න පුලුවන් නිසා. මේ මත අතරත් ලොකු ගැ‍ටුම් තියෙනවා.

මේ නිසා මේක විසඳ ගන්න එක පහසු නැහැ. නමුත් අපි අවධානය යොමු කළ යුත්තේ මේ මොහොත ඉවසගන්න බැරි, වේදනාවක් දරාගෙන තියාගෙන ඉන්න තුවාලයට ප්ලාස්ටරයක් දමා ගැනීම ගැන නෙවෙයි.

තුවාල වලට ප්ලාස්ටර් දැමිය හැකියි. නමුත් තව තවත් වැටි වැටී තුවාලම වෙනවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රශ්න මොකක්ද? ඒකට තියෙන වෙදහෙදකම මොකක්ද? කියන එක ගැනයි අපි කතා කළ යුත්තේ. 

 

අපි මේක මඟ නොහැර කතා කළ යුතුයි, මේ අවුල ලෙහා ගන්න ඕන. තාවකාලික පැලැස්තර දාලා මේක මඟ හැරලා තවත් දුරයන්න පුලුවන් කමක් දැන් නැහැ. අපි හතර ගාතෙන්ම වැටිල ඉවරයි.

 

හැබැයි වැඩේ තියෙන්නෙ අපි මොනව කතා කළත් මේ අර්බුද විසඳා ගැනීම පැය විසි හතරෙන් කරන්න පුලුවන් වැඩ නෙවෙයි. කෙටිකාලීනව තාවකාලිකව මේ මොහොතේ ගැලවීමට යම් විසඳුම් තිබිය හැකියි. නමුත් අපේ තේරුම් ගැනීම අනුව මේවාට විසඳුම් දීර්ඝ කාලීනයි.  


අපි විසින්ම ඇතිකර ගත්තු අර්බුද:


මොකද අද මේ රටත්, පුරවැසියාත් මුහුණ දෙන සකල විධ අර්බුදයන් කියන්නෙ මේ හිටි හැටියේ ගොඩනැගුණ දේ නෙවෙයි.. අවුරුද්දකින් දෙකකින් ගොඩනැගුණ දේ නොවෙයි. මේ පවතින ආණ්ඩුව නිසාම සිදු වූ දෙයක් නොවෙයි , පැවැති ආණ්ඩුව නිසාම සිදු වෙච්ච දේවලුත් නොවෙයි..... දීර්ගකාලීනව අපිත් දැන හෝ නොදැන අපි විසින්ම ඇතිකර ගත්තු අර්බුද මේ තියෙන්නේ.

අපි කඩිනම්. කෙටිකාලීන විසඳුම් වලට යා යුත්තෙත් මේ දීර්ගකාලීන විසඳුම් වලට යටත්වයි. එහෙම නොවුණොත් තවදුරටත් අර්බුද තිව්ර වීමක් මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ.

අද අර්බුදයන් ලෙහා ගන්න බැරි පැටලැවිල්ලක් වෙලා තියෙන්නේ මෙහෙම දුර දිග කල්පනා නොකර එවලේ පැවැත්මට කෙටි උත්තර හොයන්න ගිහින් වෙච්ච දේවල් නිසා.

 

ඉතිහාසයේ සංධිස්ථානයක් සලකුණු කරලා ගත්තොත් නවසිය හතලිස් අටේ නිදහසෙන් පස්සෙ යුගය ගැන අපි කතා කරන්න ගත්තොත් සුද්ද අපිව අත් ඇරල ගියාට පස්සේ එතන ඉඳල අද දක්වා මේ රට පාලනය වුණේ අපි හදා ගත්තු ක්‍රමවේදයකට.

 

නවසිය 47 නව ව්‍යස්ථාවක් හැදුව. 48 මහ මැතිවරණයක් තියල නව ආණ්ඩුවක් පිහි‍ටුව ගත්ත. නව අගමැතිවරයෙක් පුමුඛ පාලනයක් හදා ගත්තා.. බ්‍රිතාන්‍යයෙන් ලැබුනේ අර්ධ යටත් විජිත තත්වයක් වුවත් මේ රට ගැන තීන්දු තීරණ ගත්තේ අපි. සුද්දා නෙවෙයි.

එතැන් සිට මේ දක්වා ව්‍යවස්ථා, අණ පනත්, පාලකයන් මාරුකර ගනිමින් අපි ගොඩගපු කතන්දරයේ අවසන් තර්කානුකූල ප්‍රතිඵලය තමයි අපි අද විඳිමින් ඉන්නේ. තවදුරටත් ඉතිහාසයට ගමනක් නැති වෙන තරම් විශාල ඛේදවාචකයක් අප ඉදිරියේ දැන් නිර්මාණය වෙලා තියෙනවා.

ආර්ථික ක්ෂේත්‍රය පදනමක් විදිහට ගත්තාම උඩුදුවපු බරපතල තුවාල විසින් සමස්ථ ශ්‍රි ලංකාවෙම දේහය රෝගී කරලා අවසන්. සංස්කෘතිය සමාජය දේශපාලනය මේ සියල්ල අද ලෙඩ වෙලා..


සුබසාධනවාදි ආර්ථික ප්‍රතිපත්ති


නවසිය හතලිස් අටේ අප නිදහස ලබන විට ලෝකය හිටියේ දෙවන ලෝක යුද්ධය අවසන් වෙලා විනාශ වුණු ලෝකය නැවත ගොඩනගමින්. යුද්ධයට මැදි වෙච්ච රාජ්‍යයන් ගනනාවකට තමන්ගේ පුරවැසියන් නගා සි‍ටුවීමට සුබසාධනවාදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සිදු වුණා..

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති නිසා අපි තවමත් ඒ පැරණි බ්‍රිතාන්‍ය ආණ්ඩුකරණය තමයි ආදර්ශයට ගන්නේ. එදා බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්කමක වූ සුභසාධනවාදී ආණ්ඩුක්‍රම ප්‍රතිපත්තියම මෙරට තුළදිත් ක්‍රියාවට නැගීමේ ප්‍රවණතාවයක් තිබුණා. අද බ්‍රිතාන්‍යය වෙනස් වුණත් ඒ වෙනස අපිට අහු වුණේ නැහැ. ඒවා බටහිර කියන ලේබලය ගහලා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.

සුභසාධනවාදී ක්‍රමයෙන් වුණේ තමන්ගෙ හයියෙන්, තමන්ගේ හැකියාවෙන් පුරවැසියාට ගොඩනැගෙන්න තිබුණු අවස්ථාවට බාධා කරමින් පුරවැසියා රජයෙන් යැපෙන්නෙකු බවට පත් කරපු එක. සහන මළු ආර්ථිකයක් හැදුවේ.

 

මේකේ දරුණුම අවධිය ඇති වුණේ මීට වසර 40ක 50 ක කාලයක ඉදලා. රටම හිඟන්නො කළා. රටේ දුප්පත්ම මිනිහගේ ඉදලා ඉහළම ධන කුවේරයා දක්වා සහනාධාර දෙනවා. රටේ මධ්‍යම පංතිය ගොඩනැගුවෙත් මේ සහන මළු ක්‍රමයෙන්.

 

මේ නිසා රජයේ සහන මත නැතිනම් අනුන්ගෙන් යැපෙන ජීවන ක්‍රමයකට මේ රටේ පුරවැසියා හුරු වුණා. ඇත්තටම කිවොත් රටේ දේශපාලනය විසින් හුරු කළා කිව්වොත් හරි.  

කෘෂිකාර්මික නිශ්පාදන මත ආර්ථිකය පදනම් වුණු රටක් විදිහට මේ රට අතීතයෙ සිට හැඳින් වූවත් පොඩ්ඩක් හිතල බලන්න.. ඉඩම් ටික නොමිලයේ දෙනවා, වතුර ටික නොමිලේ දෙනවා, බීජ ටික නොමිලේ දෙනවා, පොහොර ටික නොමිලේ දෙනවා...

ඒ විතරක් නෙවෙයි අස්වැන්නත් රජයෙන්ම මිලදී ගන්නවා..ඒ මිලදී ගන්න අස්වැන්නත් රජයට අතින් පාඩු කරගෙන විකූණන්න වෙලා තියෙන්නනේ. ඒ අස්සේ ගොවියාට විශ්‍රාම වැටුපකුත් දෙනවා., වගා පාළු වුණාම වන්දි ගෙවනවා, ගොවි ණය කපා හරිනවා... මේ මාර වැඩක්.  මෙතන තියෙනවද කෘෂි ආර්ථිකයක්. ? මෙතන තියෙනවද දේශිය නිෂ්පාදන ආර්ථිකයක් ?

ඇත්තටම මේ රටේ තියෙනවා කියන කෘෂි ආර්ථිකය මුළුමන්නම නඩත්තු කරන්නේ  රජයේ වෙනත් ආදායම් සහ ණය වලින්.  වසරක්ට රුපියල් බිලියන් සිය ගානක් මේ වෙනුවෙන් නාස්ති කරන්න සිදු වෙලා තියෙනවා.  මෙහෙම රටවල් හැදෙයිද?  දැන් රටට වෙලා තියෙන්නනේ මේ දේවල් වල ප්‍රතිපල.

මේ ගැටළු මම හොයාගත්ත දේවල් නොවෙයි, අලුතෙන් හඳුන ගත්ත ඒවාත් නෙවෙයි. විෂය ගැන දන්න මිනිස්සු දන්න දේවල්.

ඒත් මේ තත්වයන් වෙනස් කරන්න කවුරුවත් වැඩ කරන්නේ නෑ. හැම ආණ්ඩුවක්ම මේ හිඟන ආර්ථික ක්‍රමවේදයම නඩත්තු කළා. දැනටත් නඩත්තු කරගෙන යනවා..

 

ආණ්ඩුවක් මාරුවෙන වෙන වෙන සැරේට මේ සහනාධාර වැඩි වෙනවා..එහෙම නැතිනම් ඡන්දයක් දිනන්න බෑ.. සහනාධාර කපා හැරියොත් එතන මහජන කැ‍රැල්ලක්.. පුරවැසියා මේ හිඟන ක්‍රමයට පුරුදු වෙලා. ඒක නැතුව පැවැත්මක් නැති තැනට වැටිලා. අභිමානවත් කියන ජාතියක ඇත්ත තත්වය ඕකයි. හිඟන්නෝ..

 

මේ වගේ තවත් සහනාධාර ක්‍රම පනහකට වැඩිය මේ රටේ ක්‍රියත්මක වෙනවා.. නොමිලේ අධ්‍යපනය, නොමිලයයේ, සෞඛ්‍යය ...ඒවත් එහෙම තමයි.  



 1 වන පන්තියේ ඉඳලා විශ්ව විද්‍යාලය දක්වා ඉගැන්වීම නොමිලේ.. පොත්පත් ටික ඇඳුම් පැලදුම් ටික නොමිලේ ලැබෙනවා.. ශිෂ්‍යාධාරත් ලැබෙනවා.. පස්සේ රජයේ රස්සාවකුත් දෙන්න වෙනවා.. තව වරප්‍රසාද තොගයකුත් දෙන්න වෙනවා.. විශ්‍රාම වැ‍ටුපකුත් දෙන්න වෙනවා.. මෙහෙම නොමිලයේ හැම දෙයක්ම දෙන තරමට මේවගේ ප්‍රතිපල රටට තියෙනවද..?

 අද රාජ්‍ය සේවය කියන්නෙම රටට විශාල බරක් වෙච්ච දෙයක්. ඒත් හැමදාමත් රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕනය කියමින් වැටුප් වරප්‍රසාද වැඩිකරනවා...සේවයට බඳවා ගැනීම නොනවත්තා කරනවා..

 අපි දන්න කලෙක ඉදලා රජයට ආදායම් උපයන්න කියලා හදපු ආයතන සියල්ලම පාඩු ලබනවා.. මේ රටේ ආර්ථිකයට දැන් මේ බර තවදුරටත් දරන්න බැරි වෙලා තියෙන්නේ.. ඒක අද ඉතාම පැහැදිලියි.

 

රාජ්‍ය සුබසාධනය කියන එක වැරදි නැ.. සුබසාධනය අවශ්‍ය අවස්ථා තියෙනවා.. නමුත් සීමාවක් තියෙන්න ඕන. ඉලක්කයක්, අරමුණක් තියෙන්න ඕන.  දැන් බලන්න මේ රටේ සමෘද්ධි සහනාධාර ක්‍රමය පටන් ගෙන දැන් අවුරුදු 30 ක් විතර වෙනවා.

 

මේ අවුරුදු 30 පුරාම අඛන්ඩව සමෘද්ධි ආධාර ලබන පවුල් කී ලක්ෂයක් රටේ ඉන්නවද? ඒත් සමෘද්ධිය නිසා ගොඩගිය කවුරුවත් ඉන්නවද? සමෘද්ධි වැඩ සටහන රටට බරක් වීම මිසක් රටේ ආර්ථිය තියා ඒ සමෘද්ධිලාභීන්ගේ පවුල් ගොඩනඟන්නවත් දායක වෙලා නැහැ.

ඒත් බලයට පත් වෙන හැම ආණ්ඩුවක්ම තව ලක්ෂ ගානකට සමෘද්ධිය දෙනවා. මේ රටේ පුරවැසියන් 10 ක් 12 ක් ගත්තොත් එක්කෙනෙක් සමෘද්ධිලාභියෙක්, තව කෙනෙක් රජයේ සේවකයෙක්.  

මේ විදිහට රටේ මේ මොහොතෙත් ජනගහනයෙන් භාගයක් විතර මොකක්ම හරි සහනාධාරයක උරුම කරුවෙක්. නමුත් මේවායේ ප්‍රතිපල නැහැ.


පොද්ගලික අංශය විනාශ කිරීම:

32494RP highres 1920x1280

මේ එක්කම තිබෙන අනෙක් බරපතලම ගැටළුව මේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ හැම දෙයකටම රජය මැදිහත් වීමේ ගැටළුව,

මේ රටේ තියෙන්නේ නිදහස් වෙළදපොළ ආර්ථිකයක් කියලා කිව්වට ඇත්තටම නිදහස් වෙළදපොළ ආර්ථිකයකට තියෙන ඉඩ අහුරලා තියෙන්නේ. වෙළඳපොළ නිර්ණායකයන් අනුව ව්‍යාපාරවත් ගොඩනැගෙන්න දෙන්නේ නැහැ.

ඒවට මැදිහත් වෙලා දැඩි නීති රීති දාලා පාලනය කරන්න යනවා නැතිනම්. රජය ව්‍යාපාර කරන්න යනවා. මේකෙන් රජය ඒකාකාරව ලබපු ලාබයක් නෑ. පුරවැසියාට ලැබුණු අමුතු වාසියකුත් නැහැ. වසරක් ලාබ ලැබුවොත් තව වසර 5 ක් විතර පාඩුයි.

රාජ්‍ය ඒකාධිකාරය නිසා මේවා තුළ වංචාව දූෂණය නාස්තිය පැටවු ගහනවා. ඒවට කවුරුවත් වගකියන්නේ නැහැ. නීතියක් රීතියක් හරියකට ක්‍රියාත්මක වෙන්නෙත් නෑ.  මේවා පවත්වගෙන යන්නත් රජය බදු ආදායම් රුපියල් බිලියන සියගනනක් වාර්ෂිකව නාස්ති කරනවා.  මේ බර වැටෙන්නේ පුරවැසියගේ කර මතමයි.

 

මේ රාජ්‍ය මැදිහත් වීම නිසා පොද්ගලික අංශයත් විනාශ කරලා තියෙන්නේ, පොද්ගලික අංශය කම්මැලි කරළා තියෙන්නේ.  ඔවුන්ට ගොඩ නැගෙන්න අවශ්‍ය පෙළඹවීමක් දෙන්නේ නැහැ. මේ නිසා ලෙහෙසියෙන් ව්‍යාපාරික්යෙකුට ගොඩ නැගෙන්න බැහැ. 

 

රජය ඒවට අතදානවා.  දේශපාලන අධිකාරියේ බලධාරීන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ බලපෑම් වලට අසුවෙනවා. දේශිය ආදායම් දෙපාර්ථමේන්තුව මේ ව්‍යාපාරිකයන් ගැන හිතන්නේ මේ අය හොරු කියලා.. ව්‍යාපාරිකයගේ බොටුව මිරිකලා ගන්න පුළුවන් සේසතම ඇදලා ගන්න තමයි හදන්නේ.  

අල්ලස දූෂණය එක්ක තමා ව්‍යාපාරිකයකුට ගොඩයන්න අවස්ථාව ලැබෙන්නේ. ව්‍යාපාරිකයාත් ඒවට දැන් පුරුදු වෙලා. ජාවාරම් කළු කඩ ආර්ථිකන් හැදෙන්න මේ තත්වයන් කෙලින්ම බලපාලා තියෙනවා. මේවා මෙහෙම වෙන්න බලපාන තව බරපතල තව හේතු තියෙනවා. ඉදිරියේදි ඒවා ගැනකතා කරමු.

අපි කියන්නේ රජය මේ ආර්ථික ක්ෂේත්‍රයට මැදිහත් නොවිය යුතුම කියන එක නොවෙයි. රජයට තියෙනවා වැදගත් කාරයභාරයක්.

ඒ රටේ පුරවැසියාගේ යහපත් පැවැත්ම, අනාගතය, ආරක්ෂාව වෙනුවෙන් නියාමනයන් කරන්න. යම් ව්‍යවසායකයකු භාණ්ඩයක් නිශ්පාදනය කරනවා නම්, ඊට යටිතල පහසුකම් සලසලා දෙන එක, ණය පහසුකම් වැනි දේ හදලා දෙන එක, දේශීය විදේශීය වෙළදපොළට ඉඩකඩ හාදලා දෙන එක, එහි නියමිත ප්‍රමිතියක්, නියමිත මිළ සුත්‍රයක් හඳුන්වලා දෙන එක.. වගේ දේවල් රජය කළ යුතුයි. නමුත් ඒ වැඩේ නොවෙයි වෙන්නේ. 

 

රජය ව්‍යාපාරයකට අත ගහන්වා කියන්නේම ඒ ව්‍යාපාරය කිරීමට මේ රටේ පුරවැසියාට තියෙන අවස්ථාව නැති කිරීමක් කිව්වට වැරදි නැහැ. මේ විදිහට රජයේ මැදිහත් වීමක් නැතිව ක්‍රියාත්මක වෙන ව්‍යාපාර දෙක තුනකට වඩා රටේ නැහැ.

 

උදාහරණයකට කුරුඳු නිශ්පාදන අපනයන කර්මාන්තය හඳුන්වනන් පුලුවන්.  රටට ඩොලර් බිලියන් ගනනින් ගෙනවා කිසි ගැටළුවක් නැතිව. ඒ ක්ෂේත්‍රයේ ගැටළු ඉතා අවමයි. ගැටළු ඇති වුණත් ඒ ව්‍යාපාරිකයන් එය නියමාකාරයෙන් කළමණාකරනය කර ගන්නවා. මේකටත් රජය මැදිහත් වුණදාක මේකත් ඉවර වෙන්න පුලුවන්.


වැළලෙන්න විතරක් ඉතිරි වුණ 'අපේ රට'


මේ කතා කළේ මේ රටේ දශක ගනනාවක් තිස්සේ ගොඩ නැගිලා දැන් රටේ විනාශයට හේතු වෙලා තියෙන කරුණු දෙක තුනක් ගැන විතරයි.

තව බොහොමහක් තියෙනවා මේවා ගැන අපි ඉදිරියේදී මීට වඩා පුළුල්ව කතා කළ යුතුයි. අවසන් වශයෙන් තව දෙයක් කියන්න ඕන.

මේවා මෙහෙම වෙන්න හේතු වුණ තවත් බරපතල කාරණා තියෙනවා කියලා අපි කලින් කිව්වා.  ඒ තමයි මේ රටේ දේශපාලනය විසින් ගොඩ නගපු සමාජ දේශපාලනික සහ සංස්කෘතික අවුල.

 

අපි මේ රට ගැන හිතන්නෙම රටට එරෙහිව එළියේ බයංකර සතුරෙක් ඉන්නවා කියලා. අපිට මේ 'අපේ රට ' කියන සංකල්පය හැදෙන්නෙම මේ රට ගිලගන්න මාන බලන් එළියේ සතුරෝ ඉන්නවා කියලා මවාගෙන ඉන්න බියකරු සිහිනය නිසා.

 

ලෝකයේ ප්‍රධාන මුහුදු ගමන් මාර්ගයක පිහිටීම, මනුස්සයන්ට ජීවත් වීමට අපුර්ව පරිසර පද්ධතියක් තිබීම.. වගේ හේතු නිසා මේ රට විදේශ ආක්‍රමණයන්ට බලපෑම් වලට කිහිපවතාවක් නතුවෙලා යටත් විජිතයක්/ නව යටත් විජිතයක් වශයෙන් පැවැතීම පදනම්ව අපිට ඓතිහාසිකව ජානගතව එන බයක් තියෙනවා. කොයි වෙලේක හරි ආපහු ආක්‍රමණයකට හසු වෙයි කියලා.  

අදත් නව යටත් විජිත තත්වයකට අසුවෙලා තමයි ඉන්නේ..ඒත් ඒ පැරණි තත්වයෙන් නොවෙයි. ගෝලියකරණය වූ ආර්ථික ප්‍රසාරණය සහ ලෝක දේශපාලන බලතුලනයේ අනිවාර්ය ගොදුරු බවට පත්වීමට සිදුව ඇති නිසා. ඒත් නව තත්වයන් අපට වාසිදායක ලෙස කළමණාකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නැහැ.

එහෙම ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන, ඒ ගැන නොදැන හෝ නිශ්චිතව හදා ගත්ත ප්‍රසිද්ධ සතුරෝ කිහිප අදත් දෙනෙකුත් ඉන්නවා.  මේ අතරින් ප්‍රධාන සතුරා බටහිර ජාතින් සහ ඉන්දියාව. මේ නිසා බටහිර සහ ඉන්දියාව රටට සහයක් දෙන්න ආවත් හිතන්නේ රට අල්ලා ගැනීමේ විජාතික කුමන්ත්‍රණ හැටියට.  බැරිවෙලාවත් චීනය, අප්‍රිකානු රටක්, මැදපෙරදිග රටක් එදා මේක අල්ලන් හිටියානම්  එයාලත් අපේ හතුරෝ වීම වලක්වන්න බැහැ.

 

විශේෂයෙන්ම මේ රටේ ජාතිකවාදී ව්‍යාපාර, වාමාංශික ව්‍යාපාර අරම්භයේ සිටම අද දක්වාම මේ බටහිර විරෝධය,  ඉන්දියානු විරොධය, අධිරාජ්‍යවාදී විරෝධය වගේ දේවල් නඩත්තු කරගෙන යනවා.

 

මේ තත්වය බටහිර ගැතියි කියන දේශපාලන කණ්ඩායම් තුළත් මතුවෙන අවස්ථා තියෙනවා. හැම දෙයකටම ජාතික.. ජාතික.. ජාතික.. කියමින් දේවල් රැකගැනීම ගැන අතිශය පටු තැන්වලට රටම හිරකිරීම දිගින් දිගටම සිදුවුණා.

මේ 'ජාතික' කියන එක සිංහල මහා ජාතිය දක්වා ලඝු කළා. මේක දෙමළ විරෝධය, මුස්ලිම් විරෝධය වැන ජාති ආගමික වර්ගවාදී විරෝධයක් දක්වා ගොඩනැගුවෙත් මේ අයමයි.  

ඒකෙන් වෙච්ච සහ වෙමින් පවතින හානිය අති විශාලයි. රටේ යම් සංවර්ධනාත්මක යමක් වෙන්න තිබ්බා නම් ඒක දශක ගනනාවකට ආපස්සට ඇද දැමීමක් මේකෙන් වුණා. අද සමස්ත පුරවැසියාම ගෙවමින් ඉන්න මේකේ වන්දිය.


රාජ්‍ය පරිපාලන සේවය


දිගින් දිගටම මෙහෙම වෙන්නේ ඇයි? මේ පටු ආකල්ප වර්ධනය නොකර, මතු නොකර දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට පැවැත්මක් නෑ. මොකද මේ බටහිර විරෝධයන් රටේ මහ ජාතිය තුළ ජානගතව තැන්පත් වෙලා තියෙන නිසා. 

 

මේ බොරු දේශප්‍රේමී වැරදි හැඟීමම තව තවත් පෝෂණය කරමින් තමන්ගේ පැවැත්ම හදා ගැනීම තමයි වෙන්නේ.  කොච්චර විනාශයක් වුණත් දියසෙන් කුමාරයෙක් ඇවිත් ජාතිය ගොඩදායි කියන විශ්වාසයත් එන්නේ මෙතනින්.

 

මේ රටේ අධ්‍යාපන ක්‍රමය එදා ඉඳන්ම හැදෙන්නේ මේවා මත පදනම්ව.. අදත් බැලුවොත් රාජ්‍ය පරිපාලන සේවයේ ඉන්න තරමක් ඉන්නේ මේ මතයත් එකක්ම ජීවත් වෙන මිනිස්සු..

මේ අයගේ අතීතය හොයලා බලුවොත් අතිශය බහුතරය මේ වාමාංශික හෝ සිංහල ජාතිකවාදී දේශපාලනය සමඟ වැඩකරපු අය. පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියත් ආකල්ප වෙනස් නැහැ. ඉතිං මේ අය එක්ක රටක් ගොඩනඟවා කියන එක ලෙහෙසි නැහැ.  

අද රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම ගැන විරෝධය මතුවෙන්නේ එතැනින් දාන කොදේසි නිසාම නෙවෙයි.  අර පටු ආකල්ප.


මුල්‍ය අරමුදල දාන කොන්දේසි


මුල්‍ය අරමුදල දාන කොන්දේසි අර්ථකථනය කරන්නේ රට යටත් කරගන්න බටහිර බලවේග දරණ උත්සාහයක් විදිහට. නමුත් මේවා මොනව ද?  රටක මුල්‍ය විනය පත්වගෙන යන්න අත්‍යාවශ්‍ය කොන්දේසි.

මේ කොන්දේසි රටට අවශ්‍ය බව මුලින් කිව්වේ මුල්‍ය අරමුදල නෙවෙයි. ආණ්ඩුවල වැරදි ආර්ථික ප්‍රතිපත්ති, වංචාව දූෂණය නාස්තිය දැකපු, රට විනාශය කරා යන බව දැකපු මේ රටේ පුරවැසියෝමයි මේවා යෝජනා කළේ. මේ ඉල්ලීම් කළේ..

මේ මුල්‍ය විනය තියා ගනින් කියලා, හොරකම නවත්තපල්ලා නාස්තිය නවත්තපල්ලා... කියලා මේ රටේ මිනිස්සු කොච්චර කෑගැහුවත් ජාතිය ආගම දේශප්‍රේමය ඉස්සරහට දාලා මේවා කරන්නේ එහෙමයි කියලා ආණ්ඩු විපක්ෂ බේදයක් නැතිව මේ පාලක පංතිය විසින් හැමදාම එකම දේ කළේ.  

මෙතන ධනවාදී හෝ වාමාංශික කියලත් බේදයක් නැහැ. ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ. ඒත කවදාවත් ප්‍රශ්නේ විසඳන්න මේ මහ ජාතියට, ආගමට, දේශප්‍රේමයට පුළුවන් වුනේ නැහැ. තවත් වංසේ කබල් ගගා ඉඳලා බඩ ගින්නේ මැරෙන්න වෙන්නේ.

දැන් මේ පටු තැන්වල හිරවෙලා රටවල් ගොඩදාන්න බැහැ.. අපිට ඉතිහාසයේ අත්දැකීම් ගොඩක් තියෙනවා..ඉගෙන ගන්නවා නම් ඒවා ඇති. වර්තමානයේ අපිට හොඳම පාඩම උගන්වමින් ඉන්නවා..නමුත් මහජන විරෝධය තුවක්කුවෙන් මර්දනය කිරීම විසඳුම නොවෙයි.

එහෙම තත්වයකට එරෙහිව එන ප්‍රතික්‍රියාකාරිත්වයන් වල ආදර්ශයන් නැවත කිසිදා කිසිදු පාලයකුට රටේ පාලනය නිදහසේ කරගෙන යාමට තිබෙන අවස්ථා හැමදාටම අහිමි කරවිය හැකියි. මොකද මහ ජනතාව තවදුරටත් පාලකයාට යටත් වෙන්නේ නෑ. නීතියකට යටත් වෙන්නේ නෑ.. රට අරාජිකත්වයේ දිගටම පවතීවී.

 

මේ කවරක් වූවත් ජනාධිපති ගෝඨාභයට මේ අවුලෙන් රට යම් තරමකට හෝ ගලවා ගැනීමේ අවස්ථාව තවදුරටත් තියෙනවා. නමුත් ඒකට ජනතාවගේ පැත්ත ගැන හිතලා කොන්ද පණ ඇතිව දේශපාලන තීන්දු ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒකට ලැජ්ජාව බිය නැතිවිය යුතුයි.

 

මේ ගෙවෙන මොහොත මට පෙනෙන්නේ එසේය.


SJ(සුභාෂ් ජයවර්ධන)
නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58