1200 x 80 DMirror

 
 

ලංකාවෙ දේශපාලනයේ මේ මොහොත මං නම් කරන්නෙ ‘රනිල් මොහොත’ කියල. ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහව මගහැර යා නොහැකි මොහොත.



රනිල් කියන්නෙ මං කැමති දේශපාලකයෙක් නෙමෙයි. ඒ එයාගෙ උද්දච්ඡ ඉරියව් මා තුල අප්‍රසාදයක් ඇති කරන නිසා.  

2019දි රනිල් කියන්නෙ ලංකාවෙන් ප්‍රතික්ෂේපිතම චරිතය. එක ආසනයයි අන්තිමට ඉතුරු වුනේ. නමුත් 2022 වෙද්දි රනිල් කියන්නෙ ලංකාවට අවශ්‍යම චරිතය වෙලා තියෙනවා.

ජනතාව රනිල් අගමැති වෙයි කියල බලන් ඉන්නවා. රට ආර්තික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි කියනවා. දේශපාලනයේ අද්විතීය ‘කම්බැක්’ එකක් රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කරමින් ඉන්නවා.

 

ලංකාවෙ ඉන්න අනිත් සියලුම දේශපාලකයන් ගත්තොත් ඒ අය මොහොත හඹා යන පිරිස්. මේ වෙලාවෙ ආණ්ඩුව පෙරලලා බලය ලබාගැනීමේ විපක්ෂයේ උවමනාව උදාහරණයක් විදිහට ගත්තොත් ඒක මේ මොහොත හඹා යාමක්. රනිල් හැමතිස්සෙම මොහොත තමන් හඹා එන තුරු ඉවසනවා. රනිල් මොහොත කලබලකාර නෑ ඉවසිලිවන්තයි.

 

‘රනිල්ට බෑ’ කියපු ජනහඬ ආපහු ‘රනිල්ට තමයි පුළුවන්’ කියන තැනට මාරු වෙමින් තියෙනවා.


රනිල් කියන දේශපාලනය ලංකාවෙ සුවිශේෂයක්. අනෙක් හැම දේශපාලකයෙක්ම ජනතාව අතර ඉඳිද්දි එයා ඉන්නෙ ජනතාවගෙන් දුරස්ව. ළමයි උඩදාන, පිටවල් අතගාන දේශපාලනය රනිල්ට බෑ.

හැබැයි රනිල්ගෙ විශේෂය නැත්නම් රාජ්‍ය පාලනය දිහා බලන සුවිශේෂ ආකාරය නිර්මාණය වෙන්නෙම මේ දුරස්තබවත් එක්ක. ජනප්‍රිය විසඳුම් වෙනුවට ප්‍රායෝගික විසඳුම් දිහා බලන්න එයාට මේ පරතරය ඇතුලෙ හැකියාවක් ලැබෙනවා.

එයා මේ වෙලාවෙ රටේ අර්බුදය දිහා බලන තැන විසින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ අනිත් හැම කෙනෙක්වම අවුල් කරනවා. සියල්ලන් විසින් අර්බුදයට හේතු හොයන්නත්, ඒ හේතු රාජපක්ෂලා මත පටවන්නත් අරගල කරන අතරෙදි රනිල් අතීතය අත්හරිනවා. එයා මුලුමනින්ම වර්තමාන මොහොත මත පවතින්න තීරණය කරනවා.

රනිල්ට අනුව මේ වෙලාවෙ තියෙන අර්බුදය ගෙවුම් ශේෂ අර්බුදයක් සහ ස්ථාවර බැඳුම්කර අර්බුදයක්. එතකොට දේශපාලනය වෙන්නෙ මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නෙ කොහොමද කියන එක.

 

‘රනිල් මොහොත’ විසින් යෝජනා කරන වැදගත් කාරණයක් තමයි ආණ්ඩුවක් රටක ආර්ථික දේශපාලනය මූලික කරගත යුතුයි කියන එක. රාජපක්ෂලා ඇතුලු සජබෙ, ජවිපෙ කවුරු ගත්තත් ඒ අය මොහොතෙත් නිරත වෙන්නෙ සංස්කෘතික දේශපාලනයක.

 

මේ අපි මුහුණ දෙන, කඩිනමින් විසඳුම් සෙවිය යුතු අර්බුදයට පිළිතුර සංස්කෘතික දේශපාලන‍ කලාපයේ පවතින එකක් නෙමෙයි. ඊට විසඳුම් පවතින්නෙ රජයක ප්‍රධාන කාර්යය විය යුතු ආර්ථික දේශපාලන කලාපය තුලමයි.

මේ මොහොත සංස්කෘතික දේශපාලනයේ දුර්වලයෙක් වෙන ‍රනිල්ටම පැවරුනු මොහොතක් වෙන්නෙ ඒකයි.

රටේ පවතින අස්ථාවර සහ අසීරු ආර්ථිකයත් එක්ක චන්දයක් කියන එක කිසිසේත් ප්‍රායෝගික වෙලාවක නෙමෙයි අපි ඉන්නෙ. ඒකෙන් අනිවාර්යෙන් ආර්තිකය නැවත ගොඩගත නොහැකි තරමෙ අගාධයකට තල්ලු කරනවා. රනිල් විසින් මේ අර්බුදය පාර්ලිමේන්තුව ඇතුලෙම විසඳාගත යුතුයි  කියන්නෙ ඒකයි.

 

ජනතාවට මේ වෙලාවෙ චන්දයක බරක් පැටවීම අසාධාරණයි කියල එයා කියනවා. හැබැයි අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු‍ව ඇතුලෙ විසඳාගැනීම කියන්නෙ රනිල්ගෙ ප්‍රියතම කලාපය. එයාට හැමතිස්සෙම දුෂ්කර වෙන්නෙ ජනතාව සමග විසඳාගන්නා කලාපය.

 

ඉතින් ඔව්, මේ වෙලාවෙ චන්දෙකට යන එක අමනෝඥයි තමයි, නමුත් එය විසින්ම රනිල්ගේ මොහොතට අවශ්‍ය වපසරිය සකස් කරලා තියෙනවා.

ඇත්තටම සිහිබුද්ධියක් ඇති ඕනම කෙනෙක් රනිල් විසින් අර්බුදයට විසඳුම් කියල ඉදිරිපත් කරන යෝජනා විපක්ෂයේ අනෙක් අයගේ යෝජනා සමග සසඳා බැලුවොත් ඒවා වඩාත් ප්‍රායෝගික සහ වගකීම්සහගත ඒවා බව පේනවා. ඒවා පදනම් වෙන්නෙ IMF වැනි අන්තර්ජාතික ආයතන විසින් අපේ ආර්තිකය පරීක්ෂා කරලා බලලා කරන නිර්දේශ මත.

අනෙක් සියල්ලන් විසින් ආර්තික අර්බුදය සහ රාජපක්ෂලා එළවීම එකක් බවට පත් කරද්දි රනිල් තනියම මේ දෙක වෙන්ව පවතින දෙකක් වශයෙන් යෝජනා කරනවා. ඒ හරහා සජබ, ජවිපෙ විපක්ෂයෙ මූලික ස්ථාවරය බිඳිනවා. රනිල් විසින් අර්බුදය ආර්තික වශයෙන් විසදීමේ සහ ඒ වෙනුවෙන් ජාතික එකඟතාවයක් ඇති කරගැනීමේ නව මොහොතක් නිර්මාණය කරනවා.

එයාගෙ යෝජනාව වෙන්නෙ අපි සංවර්ධන ආර්තිකයෙන් සහන ආර්තිකයකට මාරු වෙන්න ඕන කියන එක. සියලු අත්‍යවශ්‍ය නොවන සංවර්ධන වැඩ නවත්තලා ජනතාවට සහන දෙන්න ඕන කියන එක. ඒ සහන හරහා නැවත ජනතාව ආර්තිකයට සක්‍රියව සහභාගි කරගන්න එක.

 

මේ වෙලාවෙ ජනතාව මුහුණ දෙන අර්බුදයට පිළියම ආණ්ඩු පෙරලීම නොවන බව ඉමෝෂනල් නොවී බැලුවොත් පේන තාර්කික ඇත්තක්. රනිල්ගේ යෝජනාව කෙලින්ම ප්‍රශ්නය පවතින තැන ඇඩ්‍රස් කරනවා. කසාය දීලා ලෙඩේ වැඩිකරලා හොඳ කරනවා කියන දේශීය ආයුර්වේද ක්‍රමය වෙනුවට රනිල් යෝජනා කරන්නෙ බටහිර වැක්සින් එක.

 

අනිත් අය කැපකිරීම්, පටි තද කරගැනීම් යෝජනා කරද්දි රනිල් කියන්නෙ මිනිස්සුන්ට සහන දෙන්න කියල. හොම්බෙන් ගිහින් ඉන්න මිනිස්සු ලවා තවත් බර අද්දවාගැනීම වෙනු‍වට මේ යෝජනාව එක පැත්තකින් ආර්තිකව ප්‍රායෝගිකයි. අනිත් පැත්තෙන් පෙරලන්න ජනතාව දක්කන සියල්ලන්ට වඩා වාමාංශිකයි.

විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා ආනයන සීමා කිරීම ගැනත් රනිල්ගෙ අදහස විප්ලවීයයි. එයා කියන්නෙ මේ තියෙන විනිමය ටික ඉතුරු කරගන්න දඟලන එක නෙමෙයි කරන්න ඕන කියල. ඒ වෙනුවට විනිමය වැඩි කරගන්න උපාය මාර්ග ගැනයි උනන්දු විය යුතු කියල.


‘රාජපක්ෂ මොහොත’ විසින් නිර්මාණය කළ සියලු තත්වයන් ‘රනිල් මොහොත’ විසින් බිඳ දමනවා


‘රාජපක්ෂ මොහොත’ විසින් නිර්මාණය කළ සියලු තත්වයන් ‘රනිල් මොහොත’ විසින් බිඳ දමනවා. ජාතිවාදයෙන් කන්න දෙන්න පුළුවන්ද කියල රනිල් අහනවා.

දේශීයත්වය කියල අපිව ලෝකෙන් හුදකලා වුනු මිත්‍යාවක රඳවාගත් යුගයේ පැවැත්ම අහවර වෙමින් යනවා. ලෝකෙන් උදව් නැතුව යක්ඛ පුත්තුන්ට කන්න බොන්නත් නැතිවෙන්න පටන් අරන් තියෙනවා.

නැවත ලෝක‍ය සමග සබඳතා පටන් ගන්න ‘රටට රනිල්’ ඕන වෙලා තියෙනවා.

බහුතර දේශප්‍රේමී යැයි සම්මත ආණ්ඩුවක් පෙරලනවා වෙනුවට රනිල් ඒ හිසක් නැති මහා ශරීරයට හිසක් සවිකර වැඩට ගැනීම යෝජනා කරනවා. ඒ හරහා කිසිදු රජයක් හරහා මේ රටේ ඉටු කරගැනීමට දුෂ්කර වන නමුත් අවශ්‍යම වන ජාතික ප්‍රතිසංස්කරණ සිදු කරගැනීම වෑයම විය යුතු බව කියනවා.

 

ලංකාවෙ ඉදිරිපෙල නායකත්වයන් අතරින් ලෝකයේ වෙනත් රටවල් සමග සාකච්ඡා කරමින්, විශ්වාසය දිනාගනිමින් යම් ස්ථාවරත්වයක් ඇති කරගත හැකි ලංකාවෙ ඉතුරු වෙලා ඉන්න එකම චරිතය රනිල් වික්‍රමසිංහ.

 

එකින් එක අරගෙන හිතලා බලන්න පුළුවන් අනෙක් චරිතවල මේ සම්බන්ධයෙන් ඇති ප්‍රාගුණ්‍යය. එතනදි වැදගත් වෙන්නෙ රට ඇතුලෙ අය තමන් දිහා බලන හැටි නෙමෙයි, රටෙන් පිට අය තමන් දිහා බලන හැටියයි. මේ අත්‍යාවශ්‍ය අන්තර්ජාතික මොහොත විසින් රනිල්ගේ මොහොත උදාකරලා තියෙනවා.

අනිත් පැත්තෙන් රාජපක්ෂ මොහොත විසින් ඉහළටම නැංවූ ජාතිවාදයේ මොහොත අවසන් වෙමින් සුළු ජාතීන්ගේ පැවැත්ම වැදගත් කාරණයක් බවට පත්වෙනවා. අපිට උදව් කරන්න නම් අපි රට ඇතුලෙ අනෙක් ජාතීන් සමග ජීවත් වෙන ආකාරය වැදගත් වෙනවා.

මෙතෙක් පයිසෙකට ගනං නොගත් වෙනත් රටවල් අපි දිහා බලන කැඩපත මේ අර්බුදයෙන් ගැලවීමට අපිට ඇති  එකම මග වෙලා තියෙනවා. ඒ කැඩපතෙන් සුළු ජන අයිතීන්වලට වටිනාකමක් ලැබෙනවා. කොටින්ම ඩයස්පෝරාව පවා අපිට අවශ්‍ය වෙමින් තියෙනවා.

 

276127621 521794549511764 1368576856359163265 nඅපිට පසුකරමින් හිටියෙ මානව අයිතිවාසිකම් කියන්නෙ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් කියල කාදිනල්වරයා පවා කියන කාලයක්. අද ඒ අයම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් අන්තර්ජාතික සංවිධානවල උදව් ඉල්ලනවා. මේ මාරු වෙන නැකතට තමයි කියන්නෙ රනිල්ගේ මොහොත කියල.

 




රනිල් මේ මොහොතේ නව දේශපාලනයක් යෝජනා කරනවා. පෙරලිකාර විරෝධතා වෙනුවට සාමකාමී සත්‍යග්‍රහ කරනවා. සාම්ප්‍රදායික බෙදීම්, එකිනෙකාට චෝදනා කිරීම් වෙනුවට පොදු එකඟතාවයක අවශ්‍යතාව ඉස්මතු කරනවා.

 

කවර පාක්ෂිකයෙක් වුනත් මේ මොහොතෙ රටට වඩාත්ම ගෝචර‍ වෙන්නෙ නිශ්චිත ජාතික රාමුවක් නිර්මාණය කරගැනීම බව සරලව වැටහෙන සත්‍යයක්. ආණ්ඩු මාරු වෙද්දි වෙනස් වෙන ජාතික ප්‍රතිපත්ති එක්ක සංවර්ධනය කියන්නෙ දූෂනයට සහ නාස්තියට පාරක් විතරයි. විවේචන වෙනුවට තම තමන්ගේ යෝජනා මේසෙ උඩට ගේන්න කියල රනිල් ආරාධනා කරනවා.

 

විපක්ෂයේම හිඳිමින් වසර දෙකක එකඟතාවයක් නිර්මාණය කරගැනීම එයාගෙ කැම්පේන් එක වෙලා තියෙනවා. වඩා වැදගත් දේ මේකයි.

අනිත් හැමෝම බලයේ උවමනාව වෙනුවෙන් බෙදීම යෝජනා කරද්දි රනිල් සියල්ල පසෙකින් තබා වර්තමානය වෙනුවෙන් එකතු වීමේ යෝජනාව ඉස්සරහට ගේනවා. මේ වෙලාවෙ වඩාත්ම ප්‍රායෝගිකත් නිර්මාණශීලීත් මග විදිහට පේන්න තියෙන්නෙ ඒක.

‘මං අගමැති වෙන්නෙ කොහොමද? මට තියෙන්නෙ එක චන්දයයි. ඒ මගේ චන්දෙ විතරයි..’

රනිල් හිනාවෙවී කියනවා. එක චන්දයක් තියෙන මිනිහෙක් රටක් වෙනස් කරපු හැටි කියන එකයි රනිල්ගෙ ලෙජන්ඩ් එක වෙන්නෙ.

නරි රංචු පිටින් ආවට සිංහයා එන්නෙ තනියම කියල මං ෆේස්බුක් පෝස්ට් එකක ලිව්වා. රනිල් මොහොතෙ වැදගත්ම දේ පුද්ගලයාගේ සිතීම සහ නිර්මාණශීලීත්වය බහුතරයේ ගෝෂාවට වඩා ඉස්මතුවීමයි.



චීන වයිරසය ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා' - චින්තන ධර්මදාස(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා ජාතික පුවත්පතේ පළවූ ලිපියකි)



 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා