1200 x 80 DMirror

 
 

# රට පත්ව ඇත්තේ ඉතිහාසයේ කවමදාවත් නොවුනු සමාජ ආර්ථික අර්බූදයකටය.


# අර්බූදයේ අයිතිකරුවන් කවුරුන් වූවත් බලයට පැමිණ වසර දෙකක් ගත වූ පසු පවතින ආරවුලට විසඳුම් ඉල්ලන්නට වෙන්නේ දැන් බලයේ ඉන්න නායකයින්ගෙන්ය.
# “රාජපක්ෂ විරෝධය”මෝඩ ආතල් ගැනීමකට යොදා ගැනීම බරපතල අවදානමකි.



පසුගිය ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ වලදී රාජපක්ෂලාගේ වේදිකාවල ඉතාම ආවේගවාදී කතාකාරිය වූ සීතා අරඹේපොල නිතර කියූ “මේ සක්වල ගල ප්‍රකම්පිත කරන්නට” අවසාන වශයෙන් සමත්ව ඇත්තේ “වියත්මග” සමග ඇය හවුල්ව ඉන්නා මේ රාජපක්ෂ ආණ්ඩුව ය.

එනිසා රට පුරා දිගු ඇදෙන පෝලිම් ගැන, දෛනිකව කෙරෙන විදුලි කප්පාදු ගැන, ගෑස් හිඟය ඉන්ධන හිඟය ගැන, අස්ප වේගයෙන් පිම්මේ යන භාණ්ඩ මිල ගැන කිසිවක් මම මෙහි නොලියමි. නොඅසමි. ඒවා ගැන ඇසිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආඩම්භරයෙන් මතක් කරන, මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ඡන්දය දුන් 69 ලක්ෂයෙනි.

මේ අර්බූදයේ අයිතිකරුවන් කවුරුන් වූවත් ආණ්ඩු පාලනය බාර ගෙන දෙවසරකට පසු විදේශ විනිමය අහේනිය, ඩොලර බිලියන 49 ක් විදේශ ණය වාරික මේ වසරේ ගෙවන්නට සිදුව තිබීම සහ එනිසා ජනතාවට අත්‍යාවශ්‍යම ඉන්ධන, ගෑස්, පාරිභෝගික භාණ්ඩ කිහිපය ගෙන්වා ගැනීමට නොහැකිව තිබීම ගැන කරුණු ඇසිය යුත්තේ බලයේ ඉන්නා ආණ්ඩුවෙනි. 

එහි ඉන්නා “වියත්මග” වියතුන්ගෙනි. මේ රට පත්ව තිබෙන සමාජ ආර්ථික බිඳ වැටීම ගැන ඒ කිසිවෙකුට උත්තර දිය නොහැකි බව මම දනිමි.
 
එබැවින් මා ඔවුන්ගෙන් ඒවාට උත්තර අසන්නේ නැත. අනාගත “සෞභාග්‍යයේ දැක්ම” කුමක්දැයි දැන ගැනීමටවත් ඕනෑ නොවුනු 69 ලක්ෂයක් ඡන්දදායකයින් පත්කර ගත් ආණ්ඩුව විසින්ම ඔවුන්ව දැන් වරු ගණන් සති ගණන් පෝළිම්වල සිටුවා තබති.
 
 ඒ ගැන ඔවුන්ගේ සිත් තුල කැකෑරෙන්නේ කවරක්දැයි දැන ගැනීමට ඔවුන්ට කන් දෙන්නට මට අවශ්‍ය නැත. එය ඔවුන් කර ගැසිය යුතු ඔවුන්ගේ කුරුසය ය. ඔවුන් එය කර ගැසීම ගැන මම ඔවුන් 69 ලක්ෂය ගැන කරදර නොවෙමි. දුක් නොවෙමි.

 
රට මුහුණ දෙන මේ ව්‍යසනය, මේ ඛේදවාදකය, මේ විනාශය පිළිබඳව එනමුත් විපක්ෂ නායකයින්ට පූර්ණ අවබෝධයක් මේ වනවිට තිබිය යුතුය. මෙය රටේ ජනතාවගේ ඉරණම හා සෙල්ලම් කළ යුතු මොහොතක් නොවන බව ඔවුන් අවබෝධකොට ගත යුතුය.
 


විපක්ෂයේ කිසිදු දේශපාලන නායකත්වයක් නොමැතිව රට පුරා බොහෝ නගරවල, හන්දි ගාණේ නොයෙකුත් තරාතිරමේ ජනයා පාරට බැස ආණ්ඩුවට විරෝධය දක්වන්නේ කාලය මැරීමට නොවන බව විපක්ෂ ක්‍රියාකාරීන් අවබෝධකොට ගත යුතුය. එවගේම ජනතාව හා වැදගත් ලෙස අනාගතවාදී එල්ලයක් ඇතිව මේ විනාශය ගැන කතා කරන්නට ඔවුන්ට වගකීමක් ඇති බවත් තේරුම්ගත යුතුය.

ආණ්ඩුවට නැති විසඳුම් සැළසුම්කර ගැනීමේ සංවාද ජනතාව සමගින් කිරීමේ වගකීමත් ඒ වෙනුවෙන් ජනතාව මෙහෙයවා ගැනීමේ වගකීමත් විපක්ෂ ක්‍රියාකාරීන්ට ඇත. විපක්ෂයේ ප්‍රධාන නායකයින්ට ඒ වගකීම විශේෂ වන්නකි.
 
එනමුත් ගෙවුනු මාස කිහිපයෙහි වඩ වඩාත් ගෝසාකාරී වූ විපක්ෂ දේශපාලනය ලෙස දකින්නට තිබූයේ එවැන්නක්දැයි මොහොතකට සිතා බැලිය යුත්තකි.


වසරකට වැඩි කලෙක සිට වර්ධනය කෙරුණු සහ විශේෂයෙන් පසුගිය සති කිහිපයේදී ඉස්මතු කෙරුණු විරෝධය විපක්ෂ දේශපාලනයක් නොව, හිස් “රාජපක්ෂ” ආණ්ඩු විරෝධයක් පමණි. 
 
 
 
2009 යුද්ධය නිමාවෙන් පසු ඇමෙරිකානු භූ-දේශපාලනය හා ඉන්දියානු කලාපීය දේශපාලනයේ පොදු වුවමනාකම් අනුව නාගරික සමාජ ක්‍රියාකාරීන් හා ජිනීවා ආව ගිය මානව හිමිකම් විශේෂඥයින් සමගින් හැදූ “රාජපක්ෂ විරෝධය” යළිත් වරක් දෝරෙ ගලනු දැකිය හැකිය.
 
එදා හැදූ රාජපක්ෂ විරෝධී රැල්ලෙන් 2015 ජනවාරියේ පත්කර ගත් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව දූෂිත වංචාකාරී ආණ්ඩුවක් ලෙස අනාථ වූවකි. 
 
එය විශේෂයෙන් නාගරික ජන ජීවිතයෙන් පිටත කිසිදු වැදගත් සමාජ-ආර්ථික සංවර්ධනයක් නොකළ අසාර්ථක ආණ්ඩුවකි. “යහපාලනය” යැයි එයට සන්නාහ නාමයක් යොදා ගත්තද එය පිටුපසින් ගිය නාගරික මැදපංතිකයින්ට වික්‍රමසිංහගේ යහපාලනය ගැන කිව හැකි වූයේ “මොනවා වුනත් සුදු වෑන් ආවේ නැහැනෙ.... නිදහසක් තිබුණනෙ” වැනි කතා පමණි.

 
මෙය නිරවුල්ව තේරුම් ගත යුත්තකි. රාජපක්ෂ යුගයේදීම 2010 ජනවාරියේ එක්ණැළිගොඩගේ අතුරුදහන් වීමෙන් පසු සුදු වෑන් නොතිබුණි. එය යහපාලනය විසින් නතර කෙරුවක් යැයි සිතා සිටීම මුලාවකි. පළමු රාජපක්ෂ ජනාධිපති යුගය 2009 න් අවසන් කෙරුණු යුද්ධය පිළිබඳ කතාවක් වන අතර, 2010 න් ඇරඹි දෙවැන්න යෝධ දූෂණ හා වංචා පිළිබඳ කතාවක් මිස සුදු වෑන් ගැන කතාවක් නොවුනි.



එවගේම 2015 න් පටන් ගන්නා “නිදහස් අවකාශය” ගැන කතාව යහපාලනයේ අකාර්යක්ෂම ආණ්ඩු පාලනය ගැන කතාවකි. එයට වැදගත්ම සාක්ෂිය රාජපක්ෂලා සිංහල සමාජයෙහි “මුස්ලිම් විරෝධය” වඩා ප්‍රචණ්ඩ ලෙස වගා කරමින් නැවත බලයට පැමිණීමය.

 යහපාලනයට අවශ්‍ය වූවා නම්, දේශපාලන වුවමනාවක් තිබුණා නම්, සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ ඒ ප්‍රචණ්ඩ මුස්ලිම් විරෝධය නෛතික වශයෙන් මට්ටු කිරීමට ඕනෑ තරම් කාලයත් ඉඩත් සාධාරණ හේතුනුත් තිබිණ. එවගේම එය දේශපාලනිකව අභියෝග කළ හැකිවද තිබිණ. එහෙත් යහපාලනයේ නිවට නපුංසකත්වය හා අසාර්ථකත්වය හේතුවෙන් ඒ කිසිවක් නොවුනි.

ජනේලයේ එල්ලුනේ යැයි සමච්චල් කළ රාජපක්ෂ නැවත පැමිණියේය.

 
නැවතත් අප අවට දැකිය හැක්කේ එවැනිම හිස් මෝඩ රාජපක්ෂ විරෝධයක් කර ගසා ගත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලයන්හි “වීර තරු” වන්නට කල එළි බසින පිරිස්ය.

 


තාවකාලික චූන්කාරයින්.....

රටක් වශයෙන් අප විනාශමුඛයේ ඉන්නා බව හෝ ඔවුන්ට වැදගත් නැත. ඔවුන්ගේ ආණ්ඩු විරෝධයෙහි සමාජ වගකීමක් නැත. ඔවුන්ට ඇත්තේ ආණ්ඩුවේ අසාර්ථක පියවර සම්ච්චලයට හා විහිළුවට යොදා ගනිමින් ඒ මොහොතේ ආතල් ගැනීම පමණි. 
 
තොග පිටින් බෙදා ගන්නා අව කැපෙන වැකි, චිත්‍ර, විකෘතිකර බෙදා හරින ඡායාරූප, කාටූන, විකාර රූපි ගීත ආදියෙන් සප්පායම්වන ඔවුන් තාවකාලික චූන්කාරයින්ය.
 
මේ සමාජ-ආර්ථික කඩා වැටීම හමුවේ ඔවුනගේ අඳබාල මැදිහත්වීම් ජනතාවට අත්‍යාවශ්‍ය විසඳුම් සෙවීමද සමච්චලයට ලක් කරන්නකි. එය බරපතල විනාශකාරී ප්‍රවනතාවකි. 
 
සමස්ථ ආර්ථිකය සමග මුළුමහත් ජන සමාජයේම පැවැත්ම සීඝ්‍රයෙන් කඩා වැටෙමින් ඇති විටෙක, ඒ සියලු විනාශ රාජපක්ෂලාව සමච්චලයට පත් කෙරෙන බාල විහිළු බවට පත්කර ඉන් මෝඩ ජොලියක් ලබන ආණ්ඩු විරෝධය අති භයානක ජොලියකි.

කෙටියෙන් කියන්නේ නම්, ඔවුන්ගේ ආණ්ඩු විරෝධය අවසන් වන්නේ රාජපක්ෂලාව සමච්චලයට ලක් කෙරෙන තාවකාලික බාල්දුවකින් නොව, අතිශය බරපතල අර්බූදයකට විසඳුම් නොමැති අනාගතයක් සමගින්ය.

 
මේ මෝඩ ජොලිය සමග විපක්ෂ නායකයින්ටද සමාජ වගකීමක් නොමැති ආණ්ඩු පෙරළි ගැන කතා කිරීමට ඉඩ ලැබී ඇත. “රාජපක්ෂ දැන් ඇති - ගෝටා ගෙදර යනු” යැයි අර්බූදයට විසඳුම් ඉදිරිපත් කිරීමේ වගකීමෙන් නිදහස්ව පෙළපාලි සඳහා සෙනඟ ගාල් කරගත හැකිව ඇත.
 


ඒ අතර “පොදු විපක්ෂයක්” ගැන කතාද පෙර පුරුද්දට නැවත තැන තැන අසන්නට ලැබෙන්නේය. “අපි ඒවට නැහැ” යැයි කියමින් නියත වශයෙන් තමන්ගේම ආණ්ඩු හදන්නේ යැයි ඉදිරිපත්වන අනුර කුමාරගේ සහ සජිත් ප්‍රේමදාසගේ “ජාතික” හා “සමගි” ජන බලවේග ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන්නටද නොහැකි වූ 1960 මාර්තුවේ දහනායකගෙන් පසු පක්ෂ නායකයෙකු හා අගමැති ලෙස තම මැතිවරණ ආසනයෙන්ද පරාජය වූ යහපාලන අගමැති වික්‍රමසිංහද නැවත ඇමෙරිකානු පසුබිම් සහාය ඇතිව මේ ආණ්ඩුවේ අගමැති කිරීමේ කතාවන් ඇත.

එබැවින් අද හෙට නොවුනත් ඊළග ආණ්ඩු පෙරැළියද පළමු යහපාලනය ගැන කතා කළ “දේදුණු විප්ලවය” පමණවත් ආකර්ශනීය දේදුන්නක් නොවනු ඇත.          
 
එවැනි පසුබිමක මේ ආණ්ඩුවට කලමනාකරණය කර ගැනීමට නොහැකිව ගොනුවන සමාජ ආර්ථික විනාශය හමුවේ මෝඩ රාජපක්ෂ විරෝධයකින් හුරතල්වන නාගරිකයින්ට කිව යුත්තේ දිග හැරෙන සමාජ ආර්ථික විනාශය ගැන කිසිදු දේශපාලන තක්සේරුවක් නොමැති විපක්ෂ පෙළ ගැසීම් සමග කිසිවෙකුට තමන් බලාපොරොත්තුවන ගොඩ යෑමක් ඊළග ආණ්ඩු මාරුවෙන්ද නොලැබෙන බවය.

එනිසා රාජපක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් ඡන්දය දුන් 69 ලක්ෂය ගැන නොව, මට කණගාටුවක් ඇත්තේ ඊළඟ ආණ්ඩුව ගැන බලාපොරොත්තු ඇතිව ඉන්නා අනෙක් 59 ලක්ෂය (ස.ජ.බ 55,64,239 සමග ජ.වි.පෙ 4,18,553) ගැනය. 
 
ඇත්තෙන්ම බරපතලම කණගාටුව ඇත්තේ ඒ 59 ලක්ෂයෙහි ඉන්නා කිසිවක් තේරුම් නොගෙන නායකයින් වෙනුවෙන් හුරේ දාන රතු කොළ අහිංසකයින් ගැනය.

 


අවසන් වශයෙන් කිව යුත්තේ මෝඩ රාජපක්ෂ විරෝධයක් කර ගසා ගෙන ඉන් ආතල් ගැනීම වහා නතර නොකළහොත් ඒ අඳබාල විහිළුකාර විරෝධය අතිශය බරපතල ඛේදවාදකයකට රට ඇදගෙන යනු ඇතැයි කියා ය.

දේශපාලන නායකයින් ලිලිපුට්ටන් වූවත් දැන් වහා අවශ්‍යව ඇත්තේ මේ ගොනුවන ඛේදවාචකය පාලනය කර ගනිමින් අනාගතයට ස්ථිසාර විසඳුම් හදා ගැනීමේ ගලිවේරියානු සමාජ උත්සාහයකි. එය විහිළුවක් නොවන්නකි.

 
Kusal.jpg(කුසල් පෙරේරා)
දේශපාලන විචාරක හා මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022 මාර්තු 26 වන දින

 

 


The Leader TV අද වීඩියෝ 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා