1200 x 80 DMirror

 
 

ප්‍රබන්ධය යනු ප්‍රබන්ධයක් ම පමණක් ද...? යන්න පිළිබඳ ගැටලුව සඳහා නිශ්චිත විසඳුමක් තවමත් නොලැබී තිබෙන වටපිටාවක් තුළ තවත් එබඳු ම ප්‍රබන්ධ

තිර පිටපතකට අනුව නිමැවුණු ටෙලි නිර්මාණයක් රස විදින්නට ලැබිණ.

ඒ, ප්‍රියාල් වීරසිංහගේ තිර රචනයකට අනුව චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘මිණි ගං දෑල’’ නමැති ටෙලි නිර්මාණය යි.

මෙම නිර්මාණයේ තිර රචනය දෙස හොඳින් විමසිලමත් වන්නේ නම් එය ප්‍රබන්ධයක් ද ප්‍රබන්ධ නොවන සත්‍ය කතාවක් ද යන්න නිශ්චය කරගත නොහැකි තරම් බව වැටහෙනු නොඅනුමාන ය. මතු දැක්වෙන්නේ ඒ සඳහා කදිම නිදසුනකි.


‘‘... අරක්කු පෙරීම, ලන්දේසි පාලනයෙන් පසු ව වෙළඳාමට අවතීරණ වූ හෝ පවුල්වලින් පැවතුණු සමහර වැදගත් වෙළඳුන්ගේ ලාබ උල්පතක් වීය. 1820 ගණන්වල සමහර ආණ්ඩුවේ සුළු මුලාදෑනීහු අරක්කු ස්කාගාර අයිතිකරුවන් ව සිටිය හ. එක් නිදර්ශනයක් නම් කළුතර දොමිංගු මෙස්ත්‍රිගෙ දොන් ලොරෙන්සෝ නම් පොලිස් විදානේ 1829 දී පෙරන්නෙකු ද වීම ය. පසුකාලීන වසරවල ප්‍රසිද්ධතම වෙළඳ පවුල්වල ආදි කර්තෘවරයෝ වූවෝ 1830 වසරාසන්නයෙහි පෙරන්නෝ වූ හ. මේ පවුල් අතරට 1820 ගණන්වල ප්‍රධාන පෙරන්නෙකු හා රේන්දකරුවකු වූ දමොරටුව මහා විදානේ වූ ද විදානෙලාගෙ ඒබ්‍රහම් ද මෙල් සහ පානදුරේ දෙදෙනෙකු වූ පට්ටිහැන්දිගේ ජෙරමියෙස් රුද්‍රිගු සහ පොන්න හැන්දිගේ ලව්රෙන්ති ඩයස් ද කළුතර පෙරන්නෙකු වූ ෆ්‍රැන්සිස්කු ද සිල්වා ද ඇතුළත් වූ හ.’’


(සොක්කන් ලොක්කන් වූ වගයි:කුමාරි ජයවර්ධන: පිටුව 46)



‘‘මිණි ගං දෑල’’ ටෙලි නිර්මාණයේ මුඛ්‍ය තේමාව වන්නේ ද පීප්ප කර්මාන්තය, අරක්කු වෙළඳාම සහ අරක්කු පෙරන්නන්ගේ ජීවිත සමග බැඳුණු: සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පසුබිම උද්දිපනය කිරීම ය.

එහි දී තිර රචකයා අනිවාර්යයෙන් ම ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිශීලනය ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය. එමෙන් ම මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන අරනෝලිස්ගේ චරිතය මෙන් ම: මේදිස්, ගිරිගෝරිස්, ස්ටීවන් සහ නිව්ටන් යනාදි චරිත ගොඩනැගීම සඳහා අදාළ කෘතිය පාදක කරගෙන ඇති බව ද පැහැදිලි ය.

එපමණක් නොව තවත් සාහිත්‍ය කෘතියක සහ ටෙලි නිර්මාණ දෙකක ද හෙවණැල්ල මිණි ගං දෑල මත වැටි තිබෙන බව ද පැහැදිලි ය. එහි දී වඩාත් පැහැදිලි වන කරුණක් වන්නේ ප්‍රබන්ධයක් යනු හුදු හිතලු පමණක් හෝ සත්‍යය ම පමණක් නොවන බවයි.

21768657 1935150040087247 3782001466645559105 o

සාම්ප්‍රදායික දර්ශන පෙළකින් ආරම්භ වන ‘‘මිණි ගං දෑල’’ ටෙලි නිර්මාණය එහි කොටස් කිහිපයක් විකාශනය වීමත් සමග ම පරම්පරා තුනක් පමණ නියෝජනය කරන මිනිස් ප්‍රජාවගේ සහ එකී කාලවකවානුව තුළ මෙරට පැවති: සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන්නට සමත් වී තිබේ.

එමෙන් ම විවිධාකාරයේ මිනිස් ජීවින් තුළ සැඟව සිටින ‘‘මිනිස්සු’’ මෙන් ම නොමිනිස්සු’’ පිළිබඳව ද අගනා හෙළිදරව්වක් කිරීමට ද මෙම නිර්මාණය සමත් වී තිබේ.


චරිත විකාශනය:


අරනෝලිස් (උද්දික ප්‍රේමරත්න)ගේ සිට ඊට වසර විස පහකට පමණ පසු ප්‍රේක්ෂක ප්‍රජාව ඉදිරියේ පෙනී සිටින ස්ටීවන් (සාරංග දිසාසේකර) සහ නිව්ටන් (හර්ෂ තෙන්නකෝන්) දක්වා වූ සියලු මිනිස් චරිත ඉතා මැනවින් ග්‍රහණය කරගන්නට සහ ඉන් නොනැවතී එකී චරිත අවිශ්වාසයකින් තොරව ප්‍රේක්ෂක මනසේ තැන්පත් කරන්නට අධ්‍යක්ෂකවරයා සමත්ව ඇත.

ඒ, මේ සියලු චරිතයෝ වෙත ස්වභාවයෙන් පිහිටා ඇති විවිධ: දක්ෂතා, දුබලතා, වංක අවංකභාවය, උසස් බව, නිහීනතා, බල තන්හාව මෙන් ම මුදලට ඇති කැදර බව යනාදිය ඔවුනොවුන්ගේ රංගන කුසලතා මගින් ප්‍රකට කර ඇති බැවිනි.

අරනෝලිස් මෙන් ම දඩැල්ලෙ මුදලාලි (ශ්‍රියන්ත මෙන්ඩිස්), සයිමන් මුදලාලි (ඩබ්ලිව් ජයසිරි), නැපෝහාමි (හේමසිරි ලියනගේ),  ස්ටීවන්. නිව්ටන්, හින් එකා (අංජන ප්‍රේමරත්න) වික්ටර් (සූර්යා දයාරුවන්), සෙලෙස්තිනා (උදයන්ති කුලතුංග), ඩේවිඩ් (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි), සීබල්, බඳු පුද්ගලයන් පිළිබඳ මතු නොව ගිරිගෝරිස් (මධුෂාන් හත්තල්වත්ත) බඳු සෝමාරි නමුත් කපටි කෛරාටික මිනිසුන් පිළිබඳ විවිධ සාහිත්‍ය කලා නිර්මාණවලින් මතු නොව සැබෑ තතුවලින් ද මම අසා ඇත්තෙමි; ඔබ ද අසා ඇතුවාට සැක නැත.

එමෙන් ම මෙම නිර්මාණයේ දී මට හමුවු වඩාත් සංවේදී ම චරිතය වූ ලැයිසා (හිමාලි සයුරංගි) මෙන් ම තම සිත උපන් කුලුඳුල් ප්‍රේමය වෙනුවෙන් කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව සිය තාරුණ්‍යය පුද දෙන, ඉනිදු කලකට පසු පවුලේ සාමය ආරාක්ෂා කරගනු වස් සිය සැමියාගේ සියලු දුර්වලතා ඉවසා සිටින සෙදෝනා (තිසුරි යුවතිකා) බඳු චරිත පිළිබඳව ද ඔබ අසා ඇතුවාට සැක නැත.

මේ වන විට ජිවිතයේ සැඳැ සමය (අවම වශයෙන් අවුරුදු අසූවත් අනූවත් අතර හෝ ඊට වැඩි) ගෙවන වැඩිහිටි පුද්ගලයන්ට මෙබඳු චරිත අනන්තවත් මුණ ගැසී ඇතුවාට ද සැක නැත. ‘

‘මිණි ගං දෑල’’ නිර්මාණය තුළ දී ඒ චරිත සියල්ලෝ ම ප්‍රේක්ෂක ප්‍රජාවට සම්මුඛ වෙති; ඔවුහු සියල්ලෝ ම ප්‍රේක්ෂක ප්‍රජාවගේ (චරිත ලෙස) ගෞරවයට, ආදරයට, පිළිකුලට මෙන් ම අනුකම්පාවට ද බඳුන් වෙති. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ රංගන විලාසය හේතුවෙනි; ඔවුන් එතරම් සූක්ෂමාකාරයෙන් මෙහෙයවා ඇති අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාව හේතුවෙනි.


අරමුණු හමා යාම සහ බලාපොරොත්තු


maxresdefault

ලෝකයේ වෙසෙන බොහෝ මිනිස් ජීවීහු උපදින්නේ අනාගතය පිළිබඳ කිසිදු සැලසුමකින් තොරව ය. තමන්ගේ දියණිය හෝ පුතු අනාගතයේ කුමනාකාරයේ පුද්ගලයෙකු ලෙස සමාජ ගතකරන්නේ ද යන්න ඇතැම් දෙමාපියන්ගේ සිත් තුළ ඒකායන පරමාර්ථයක් පැවතිය ද බහුතර ප්‍රජාවකට එකී පරමාර්ථ නොපවතී.

මන් ද ඔවුන් බහුතරයක් පීඩිත පංතියට අයත්, සූරා කෑමට ලක් වූ, ධනපතියන්ගේ අනේක විධ කරදරවලට ලක්වූ, අසීරුවෙන් එදිනෙදා දිවි සරිකරගන්නෝ වන බැවිනි. ඔවුන් සිටින ස්ථානයෙන් අඩියක් හෝ ඉහළට යන්නට ඔවුන්ට වුවමනාවක් තිබුණ ද එතෙක් සිය බල පරාක්‍රමය පවත්වාගෙන යන ධනපති සහ බලය හිමි පුද්ගලයෝ ඒ සඳහා කිසිදු ඉඩක් නොතබති.

‘‘මිණි ගං දෑල’’ නිර්මාණය පුරා සැරිසරන චරිත තම තමන්ගේ ජීවන මග හෙළිපෙහෙළි කරගන්නා ආකාරය විවිධාකාර ය. එහි දී ද ලැයිසා කෙරෙහි විශේෂ අවධානය යොමු වීම වැළැක්විය නොහැකි ය. මන් ද ඇගේ එකම බලාපොරොත්තුව වන්නේ සිය පියාගේ සහ ඔහුගේ සහචරයන්ගේ නොපනත්කම්වලට එරෙහිව නැගී සිටීම හේතුවෙන් සිය පියා ද නිවස ද අහිමි කරගනිමින් ගමෙන් පිටමං වීමට සිදුවූ ඇගේ පෙම්වතා වන අරනෝලිස් කවදාක හෝ තමන් සොයා එනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටීම ය.

අරනෝලිස් ද ඇය සොයා පැමිණියේ ය. නමුත් ඒ අවස්ථාව මගහැරෙන්නේ සහ ඒ පිළිබද අරනෝලිස් දකින්නේ සත්‍යයක් නොවුව ද එය සත්‍යයක් ලෙස පිළිගන්නට එදා අරනෝලිස්ට සිදුවිය. ඒ සිදුවීමට බලපාන්නේ ද ලැයිසාගේ අවංකභාවය යි. එහෙත් ඇගේ ජීවිතයේ සැඳැ සමය දක්වා ම කන්‍යාවක ලෙස ජීවත් වීමට සිදුවන්නේ ද එකී අවංකභාවය ම වීම කෙතරම් ඛේද ජනක ද...?

අවසන ඇය ඊට සොයාගන්නා විසඳුම (භෞතික මෙන් ම අධ්‍යාත්මික) කෙතරම් සංවේදි ද...?


මුදල් සහ බලය පිළිබඳ ආසක්තභාවය

20229671 949253891881457 144112730616966738 o
පහළම පංතියේ සිට කෙමෙන් කෙමෙන් ඉහළ පංතිය කරා ගමන් කරන විට ඔවුනොවුන්ගේ අතීතය අමතක වීම මතු නොව ඔවුනොවුන් එතෙක් ඇදහූ ආගම පවා වෙනස් කිරීම බොහෝ දෙනෙකු විසින් සිදුකරනු ලබන අමිහිරි දෑ ය.. ඒ සඳහා මෙම නිර්මාණයේ චරිත ද්විත්වයක් ම ප්‍රේක්ෂක ප්‍රජාව හමුවෙති.

එහි පළමු පුද්ගලයා දඩල්ලෙ මුදලාලි (ශ්‍රීයන්ත මෙන්ඩිස්) ය; දෙවැන්නා ප්‍රධාන චරිතය වන අරනෝලිස් ය. මේ දෙදෙනා ම කාලයාගේ ඇවෑමෙන් සුදු අධිරාජ්‍යවාදින්ගේ බළල් අත් බවට පත්වෙති; ඒ මාර්ගයෙන් ම මුදලි මුහන්දිරම් යනාදී පදවි තානාන්තර ලබති.

මුදල් ඉපයීමේ සීමාව කෙතරම් දැයි නිනව් නැති මොවුන් ඒ සඳහා බොහෝ ජීවිත ප්‍රමාණයක් අකාලයේ නසා දමති. විශේෂයෙන් ම අරනෝලිස් යනු සිය සතුරා ඉතා සුක්ෂමාකාරයෙන් විනාස කර දැමීමට තරම් දක්ෂ පුද්ගලයෙකි.

කතාව දිගහැරෙන අන්දමට එක් ස්ථානයක දී වසර දහඅටක් පොළා පනී. එහි දී අරනෝලිස් නමැති ඝාතකයාගේ සැඟවුණ චරිතයක් ප්‍රේක්ෂකයා හමුවට රැගෙන එන්නට තිර රචකයා සමත්ව ඇත. ඒ, අරනෝලිස්ගේ ව්‍යාපාරය ආරම්භ කර එය දියුණුවෙන් දියුණුවට පත් කරන්නට ඉතා වෙහෙස මහන්සි වුව ද අරනෝලිස්ගේ ව්‍යාපාරයෙන් වංචා කළ මුදල් යොදවා පොල් අක්කර සියයක් මිලදී ගැනීමට තරම් සමත් වූ සීබල් නමැති චරිතය අතුරුදන් (ඝාතනය) කිරීම ය.

නමුත් ඔහු ඝාතනය කරන්නේ හෝ කරවන්නේ අරනෝලිස් ය යන්න තිර රචකයා ඍජුව නොපවසයි; එහෙත් ඉඟි සපයයි. ප්‍රේක්ෂක ප්‍රජාව කියවාගත යුත්තේ ම එවන් ඉඟි ය. එය දියුණු, පුහුණු ප්‍රේක්ෂකයකුගේ දක්ෂතාවකි. සීබල් සමග සම සමව වංචාවේ යෙදෙන ගිරිගෝරිස්ට එවන් ඉරණමක් අත්නොවන්නේ ඇතැම් විට ඔහු අරනෝලිස්ගේ මස්සිනා වන නිසා විය හැකි ය. එසේ නොවන්නට අරනෝලිස් ඔහු පිළිබඳව ද දැන නොසිටින්නට නොහැකි ය.


පරම්පරා වෙනස සූක්ෂ්මතමයෝ

20232840 949255238547989 4563644374713732136 o

අරනෝලිස්ගේ පුත්‍රයා වන නිව්ටන් අරනෝලිස් තරම් සට කපට පුද්ගලයෙකු නොවුණ ද, අරනෝලිස්ගේ ප්‍රධාන ව්‍යාපාරික හතුරා වූ මේදිස්ගේ පුතු මෙම නිර්මාණයේ දක්නට ලැබෙන ඉතාමත් සුක්ෂම පුද්ගලයෙකි. අරනෝලිස්ගේ පසු පරම්පරාව සමග සසඳන විට හෙතෙම අරනෝලිස්ට ද වඩා කපටියෙකි. ඔහු සිය කපටි ඥානය යොදවන්නේ සිය පියාගෙන් උදුරාගත් මත්පැන් කර්මාන්තය යළි තමන් වෙත අත්පත් කරගැනීම සඳහා ය.

නමුදු ඔහු ඒ වෙනුවෙන් කිසිදු මිනිසෙක් බිලි නොගනී; කිසිදු ආරවුලකට සම්බන්ධ නොවේ. ඔහු ඒ සියලු ජයග්‍රහණ අත්පත් කරගන්නේ සිය කපටි ඥානය භාවිත කරමිනි. එය වර්තමානයේ දේශපාලන ක්ෂේත්‍රයේ පවත්නා සටකපටකම්වලට සමගාමී ය.

සිය පියා සමග කටයුතු කළ සියලු සේවකයන් අරනෝලිස් වෙත ළං කරගත්තා සේ ම නිව්ටන් ද අරනෝලිස් සතුව සිටි සියලු ම සේවකයන් තමා වෙත නම්මවා ගන්නේ ද කිසිදු කලබගෑනියකින් තොර නිහඩ සටනකිනි. මෙවන් සිදුවීම් එකළ මත්පැන් ක්ෂේත්‍ර යේ මතු නොව වෙනත් ව්‍යාපාරික ක්ෂේත්‍රවල ද සිදුවන්නට ඇත. වර්තමානයේ ද සිදුවෙමින් පවතී; අනාගතයේ ද සිදුවන බව සක් සුදක් සේ පැහැදිලි ය. ඒ නයින් බලන විට ‘‘මිනි ගං දෑල’’ යනු තුන්කල් දක්වන නිර්මාණයකි.


සමාජ ව්‍යාපාරයෙන් දේශපාලනයට


අපේ දේශපාලන ඉතිහාසය පිළිබද පිරික්සීමේ දී දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ බොහෝ දේශපාලන පක්ෂ ඔවුන්ගේ ගමනාරම්භයේ අදාළ ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ හුදෙක් දේශපාලන ව්‍යාපාරයක් තුළින් නොව සමාජ ව්‍යාපාරයක් තුළින් බවයි.

ඊට කදිම උදාහරණය සූරිය මල් ව්‍යාපාරය යි. අනෙක් ව්‍යාපාරය ඊ. ඒ. ගුණසිංහ විසින් මෙහෙයවන ලද ජාතික කම්කරු ව්‍යාපාරය යි. ඊ. ඒ. ගුණසිංහ යනු වතු පාලකයෙකු වූ ජෝජ් ගුණසිංහගේ පුත්‍රයා ය. ඔහු කම්කරුවන් වෙනුවෙන් සටන් කර එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය.

එතෙකින් නතර නොවී අමාත්‍ය ධුරයක් ද (එය කාර්යභාරයක් නොමැති වුව ද අමාත්‍ය ධුරයකි) හෙබවි ය.  ‘‘මිණි ගං දෑල’’ නිර්මාණයේ එන අමද්‍යප ව්‍යාපාරය ද යට කී ව්‍යාපාර ද්විත්වය මෙන් ම සමාජ ව්‍යාපාරයකි. අවසන එය ද නතර වන්නේ එකල පැවති මැතිවරණ ක්‍රමයට ප්‍රවිෂ්ට වෙමිනි.

 එහි දී ද වතුපාලකයකුගේ පුතකු වු ගුණසිංහ මෙන් ම මත්පැන් ව්‍යාපාරයේ ප්‍රබලයා වූ අරනෝලිස්ගේ පුත්‍රයා අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රමුඛයා බවට පත්වී අවසන ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෙක් බවට පත්වේ. පෙර කී සුරිය මල් ව්‍යාපාරය මෙහය වූ පිරිස ද පාර්ලිමේන්තුවට තේරී පත්වී අමාත්‍ය ධුර පවා දැරූහ.

20229520 949255201881326 5776440745874240140 o

ඉදින් ‘‘මිණි ගං දැල’’ නිර්මාණය තුළින් එක් පසෙකින් ප්‍රකට කරන්නේ සමාජ ව්‍යාපාර යනු දේශපාලන ව්‍යාපාරයේ ළමා කාලය යන්න නොවේ ද...? එය අතු ඉති ලා වැඩී අවසන පීඩිතයාගේ කර මතින් ව්‍යවස්ථාදායක සභාවට හෝ පාර්ලිමේන්තුවට රිංගා ගන්නා කපටි කෛරාටික මාවත හෙළි කිරීමක් නොවන්නේ ද...?

ස්ටීවන් වුව ද දැන හෝ නොදැන හසුවන්නේ සහ ඔහු විසින් පීඩිත ජනයා හසු කරගනු ලබන්නේ මේ උගුලට ම නොවේ ද?


පසුබිම් සංගීතය


ගුවන් විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය, රූපවාහිනී නාට්‍ය සහ සිනමා නිර්මාණ කෙරෙහි සංගීතය නමැති විෂය භාවිත කිරීමේ දී එය අදාළ නිර්මාණය පිළිබඳ ව්‍යංගාර්ථ සැපයීමට සමත් විය යුතු ය. එකී දක්ෂතාව මැනවින් ප්‍රකට කරන්නට ‘‘මිණි ගං දෑල’’ රූපවාහිනී නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන සමන් ලෙනින් සමත් වී ඇති බව ඉඳුරා ම පැවසිය යුතු ය.

එහි දී ඔහු අදාළ චරිතය හෝ සිදුවීම පිළිබඳ ඉතා ගැඹුරු කියවීමක් සහිතව සිය කාර්යයේ යෙදී ඇති බව සක් සුදක් සේ පැහැදිලි ය.

ඒ සඳහා උදාහරණ ගත හැකි අවස්ථා නම්: අරනෝලිස්, සෙලෙස්තිනා සහ ඩේවිඩ් සම්බන්ධ රූපරාමුවලට පසුබිමෙන් සපයන සංගීත ඛන්ඩ, පළමු වරට වික්ටර් කෙරෙහි වික්ටෝරියා (දිනක්ෂි ප්‍රයසාද්) අප්‍රසාදය පළ කර නික්ම යන මොහොත් දී භාවිත කර ඇති සංගීත ඛණ්ඩ මෙන් ම තවත් එබඳු සුවිශේෂ අවස්ථාවල දී භාවිත කර ඇති සංගීත ඛණ්ඩ ය. යට කී කලා මාධ්‍ය තුළ ඒ ඒ අවස්ථා සහ චරිත කියවීම පිළිබඳ සංගීතයෙන් ඉඟි සැපයීම ඉතා දුලබ ය. එකී දුලබතාව විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කිරීමට සමන් ලෙනින් සමත්ව ඇත.  



මුල, මැද, අග මැනවින් අමුණා ඇති ‘‘මිණි ගං දෑල’’ නිර්මාණය අපි කියවා ගත යුත්තේ ගමෙන් පැමිණ, මහ මුදලි කෙනෙකු බවට පත්වන අරනෝලිස්ගේ කතන්දරයක් ලෙස නොව කාලයාගේ ඇවෑමෙන් වෙනස් වන ලෝකයට මුහුණ දීමට තරම් කශේරුකාවක් නැති, පීඩිත පංතියේ ඉපිද, පසු කලක දී එකී පිඩිත පංතිය ම පීඩනයට පත් කරන, තාන්න - මාන්න, වරදාන වරප්‍රසාද යනාදියට ලොල් වීම හේතුවෙන් සිය ලෙයින් ජාතක වු දරුවකු වුව ද ඝාතනය කරන තරමට නරුම වූ මිනිස්සු බිහි කරන සමාජ ක්‍රමයේ ආදිනව පිළිබඳව ය.

එනයින් බලන විට ‘‘මිණි ගං දෑල’’ යනු වර්තමානයේ බිහි වූ විශිෂ්ට රුපවාහිනි නිර්මාණයක් ලෙස හැදින්විය හැකි ය.



‘‘මිණි ගං දෑල’’ ටෙලිය ලින්කුවෙන් - වීඩියෝ 122යි 



Jayasiri Alawaththaජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2022/01/16



 ආලින්දයෙන් ඔබ්බට ජයසිරිගේ වෙනත් ලිපි :


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 09-' මහපොළොව' -ටෙලි නාට්‍ය නාමයෙන් සාහිත්‍ය කෘති සහ ඒවායේ චරිත ඝාතනය කිරීම

ආලින්දයෙන් ඔබ්බට 08 - මායාකරුවෝ රජයන ලොවක පිස්සකුගේ විනිශ්චය - 'දූවිලි අහස'

ආලින්දයෙන් ඔබ්බට 07 - 'හේලංකඩ'ට ගොඩවීමෙන් ඉක්බිති...- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 06 -ආදරයට ආදරය කළ තරුණයකුගේ - ‘‘ඉලන්දාරි හැන්දෑව’’

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

ආලින්දයෙන් ඔබ්බට 04-‘‘තණමල්විල කොල්ලෙක්’’ අමුතු ජීවියෙක් ද...?

ආලින්දයෙන් ඔබ්බට 03- ‘‘ත්‍රෛලෝකා’’ තුළින් ජාතිවාදියෝ හඳුනාගනිමු

ආලින්දයෙන් ඔබ්බට 02- 'වීරයා ගෙදර ඇවිත්' හෙළිදරව් කළේ මොනවා ද?

ආලින්දයෙන් ඔබ්බට 01 : ගිනිඅවි සහ ගිනිකෙළි - ජයසිරි අලවත්ත

 

Leader Whats app


 
 
 
මගෙන් ගොඩ ගිය සහෝදරයින් මගෙ දරුවන්ට වන්දි ගෙවන්න වෙයි!| මොණරවිලගේ ලියමන
 
 
චීනගේ ලණුවට නාමල් අහුවෙයි! | Gossip
 
 
සර් රවි දුන්නා සිරිසේනට අමල් බිසෝ වෙන්න,.
 

225ටම ඇමතිකම්! | වියත්කතා
 

ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා