1200 x 80 DMirror

 
 

‘‘කාව්‍ය වනාහී විද්‍යාත්මක ලේඛනවලට වෙනස් සත්‍යයට වඩා ආසන්න සන්තුෂ්ටියට පොළඹවන අනෙක් හැම වර්ගයක ම ලේඛනවලට වෙනස් රචනා
විශේෂයකි. සමස්තයක් වශයෙන් අවසාන සන්තුෂ්ටිය ඵලය කොට ගැනීම, එහි විශේෂත්වය යි, හැම කොටසක ම සංගත භාවයකින් යුතුව (එකට එක බැඳීම) විශේෂත්වයකින් මත් වූ අංගෝපාංගයන්ගෙන් විශේෂ සංගත භාවය යි. සමස්තයක් වශයෙන් අවසාන සන්තුෂ්ටිය යි. ගද්‍ය වනාහී ඉතාම උචිතව ගලපන ලද පද සමූහය යි. කවිය හොඳ ම වචන සමුදාය යි. හොඳ පිළිවෙළකට ගලපන ලද විශිෂ්ට වචන සමුදාය කාව්‍යය යි.’’

- Biographia Literania: එස්. ටී. කොලරිජ් - උපුටා ගැනීම: කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම: පිටුව 107

වර්තමානයේ ලියවෙන බොහෝ කවිවල ද, සම්මානිත කාව්‍ය සංග්‍රහවල ද යට කී ලක්ෂණ බොහෝ සෙයින් දුලබ ය. කාව්‍යමය භාෂාවක් නැතැයි ඇතැමුන් වහසි බස් දෙඩූව ද ‘කාව්‍යට උචිත බසක්’ භාවිත කළ යුතු යැයි මම පුද්ගලිකව විශ්වාස කරමි. ඒ අන් කිසිවක් නිසා නොව කවිය යනු හුදු වාර්තාකරණයක් හෝ ඍජු ලෙස ම අදහස් ප්‍රකාශ කරන මාධ්‍යයක් නොවන බැවිනි. කවි පබඳින පුද්ගලයා සතුව විදග්ධ වාග් කෝෂයක් පැවතිය යුතු ම ය. එකී වාග් කෝෂයේ පවත්නා වාග් මාලා උපස්තම්භක කර ගතයුත්තේ කුමන අවස්ථාවේ කුමක් සඳහා ද යන්න පිළිබඳව ද කවි පබඳින පුද්ගලයා දැනුවත් විය යුතු ය.
 
 
වඩාත් පැහැදිලිව පවසන්නේ නම් එකම නිර්මාණයක් තුළ සරල, සුගම භාෂාව ද, විදග්ධ භාෂාව ද උපස්තම්භක කරගනිමින් කවි පබැඳීමට ඔහු හෝ ඇය සමත් විය යුතු ය. ‘කවි බස’ කවියට කෙතරම් උචිත ද යන්න පසක් කරගත හැකි වන්නේ එවිට ය.

hathpethi malen

ප්‍රගීතිකා ජයසේකරගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘‘හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’’ කෘතියේ අන්තර්ගත බහුතරයක් කාව්‍ය නිර්මාණ යට කී ආකාරයේ භෂා රටාවක් උපස්තම්භක කරගනිමින් රචිත කාව්‍ය සමුච්චයක් ලෙස හැඳින්විය හැකි ය. මම ඇගේ භාෂා සමත්කම පිළිබඳව ලිවීමෙන් වැළකී සිටිමි. මන් ද එම කෘතිය වෙනුවෙන් ලක්ශාන්ත අතුකෝරල කවියා විසින් ලියන ලද සටහනේ ඒ සම්බන්ධයෙන් වූ දීර්ඝ විස්තරයක් අන්තර්ගත බැවිනි.

කාව්‍ය නිර්මාණ 43කින් සමන්විත මෙම කාව්‍ය සංග්‍රහයේ මගේ රස නහර පිනවන්නට සමත් නිර්මාණ 17ක් තිබිණ. ඒ අතුරෙන් නිර්මාණ තුනක් ලක්ශාන්ත අතුකෝරල කවියාගේ අවධානයට ලක්ව තිබූ බැවින් එම නිර්මාණ පිළිබඳව කිසිවක් ම සඳහන් නොකරන්නට අදහස් නොකළ ද ඉතිරි නිර්මාණ 13 අතුරෙන් වඩ වඩාත් මගේ රස නහර පිනවූ නිර්මාණ කිහිපයක් පිළිබඳ මගේ කියවීම සටහන් කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ යි.

දරුවන්ගේ යහපත පිණිස කටයුතු කිරීම දෙමාපියන්ගේ වගකීමකි. එකී වගකීම ඉටු කළා යැයි වහසි බස් දෙඩවිය යුතු නොවේ. මන් ද එය යුතුකමක් නොව වගකීමක් ම වන බැවිනි. එවන් වගකීම් ඉටු කිරීමේ දී දෙමාපියන් අනන්ත අප්‍රමාණ දුක් විඳිය යුතු ය. එය ද ඔවුන්ගේ වගකීම ඉටු කරනු පිණිස මිස වෙනත් ලාබ ප්‍රයෝජන තකා නොවිය යුතු ය යන්න මගේ මතය යි. නමුදු ඒ ආකාරයෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳ දරුවන් යහමග යැවූ පසු එකී දෙමාපියන් වෙනුවෙන් දරුවන් ද තම යුතුකම් ඉටුකළ යුතු ය. එසේ නොකළා යැයි ඔවුන්ට දොස් පැවරිය නොහැකි ය. නමුදු ඔවුන් තම තමන්ගේ යුතුකම් නොපිරි හෙලා ඉටු කරන්නේ නම් එය දෙපාර්ශ්වයට ම අධ්‍යාත්මික සහ භෞතික සතුට ගෙන දෙන්නකි. මෙකී අනුභූතිය පදනම් කරගනිමින් රචනා කර ඇති ‘‘පහන් ලෙන’’ නමැති නිර්මාණය පිළිබඳ අවධානය යොමු කරමු.

නහර පැදුණු අත්වල

මතකයක් පාරා

ඉස්සි ඉස්සී අත් වනත්

නෙරළු තුරු උස ම උස



සුවදක් ඇඹුල් තියලක

මුසු වෙයි වලාකුළකට



හුළඟින් තිගැස්සුණු

බැල්මක් ළපටි ගොයමක

අවුස්සයි ඉස්සර

රසයක් කැව ගුටියක



ඔබ ම හැර දුන් ලෙන් දොර

දෑසින් දැන් බොහෝ දුර

එමි සිතින් නෙක වර

දකිමි දැල්වෙන පහන් ලෙන තුළ



මෙම නිර්මාණය කියැවූ සැණින් මට සිහිපත් වූයේ: සමන් ප්‍රියදර්ශන විසින් රචිත, ආනන්ද ගමගේ සංගීතය නිර්මාණය කළ, නන්දා මාලනී ගයන ‘‘ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩිය යි’’ නමැති ගීතය යි.
 


ගිත රචනාවේ දී මෙන් නොව මෙම කාව්‍ය නිර්මාණය පබැඳීමේ දී කිවිඳිය කථකයාගේ හෝ කථකාවගේ පියාගේ රැකියාව සහ ඔහුගේ දරිද්‍රතාව ඍජුව ප්‍රකාශ කර නොමැත. කිවිඳිය පළමු කවියෙන් කථකයාගේ හෝ කථකාවගේ පියාගේ දරිද්‍රතාව සහ ඔහුගේ රැකියාව පිළිබඳ වක්බිණුමක් ඉදිරිපත් කරන්නී ය; දෙවනුව ද තෙවනුව ද අතීතය සිහිපත් කරන්නී ය. ඒ සඳහා ද කිවිඳිය උපස්තම්භක කරගන්නී රුපක පෙළකි. කවිය අවසන් කරන්නේ ද කථකයා හෝ කථකාව මානසිකව විඳින කිසියම් වේදනාවක් ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරමිනි. කථකයා හෝ කථකාව හොඳින් ඉගෙන සමාජයේ ඉහළ ස්ථානයක සිටින බව ද ව්‍යංගයෙන් පවසන්නට කිවිඳිය සමත්වන්නී ය. කථකයාට හෝ කථකාවට සිය දෙමාපියන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට නොහැකි වී ඇති බවත්, නමුදු අදාළ පුද්ගලයා නිරන්තරයෙන් ම සිය දෙමාපියන් සිහිපත් කරන බවත් කිවිඳිය ප්‍රකාශ කරන්නී ය.


කවියේ අවසන් පදය වන ‘‘දකිමි දැල්වෙන පහන් ලෙන තුළ’’ යන්න අපට පසක් කරන්නේ කුමක් ද...? කථකයාගේ හෝ කථකාවගේ ජීවන මග එළිය කරන්නට ආලෝකය සැපයූ දෙමාපිය යුවළ වර්තමානයේ ද ඔවුන්ගේ ම ලෝකය තුළ සිරගතව සිටින බවයි. මෙවන් අත්දැකීම්වලට මුහුණ පා ඇති දූ - පුතුන් ද දෙමාපියන් ද ඔබටත් මටත් අනන්තවත් හමු වී ඇති බවට කිසිදු සැකයක් නැත. නමුදු එවන් අනුභූතියක් මෙතරම් මනරම් ආකාරයෙන් කවි කර තිබී හමුවී ඇතිදැයි සැක සහිත ය. මෙම නිර්මාණය එතරම් ම ප්‍රශස්ත ය.


බොහෝ විට බොහෝ පුද්ගලයන්ගේ අතීත මතක (වෙසෙසින් ම ආදරය, ප්‍රේමය පිළිබඳ) අමතක කරනු වස් පුරුෂ පාර්ශ්වය මත් පැන් පානයට හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති බව නොරහසකි. කාන්තා පාර්ශ්වයේ බොහෝ දෙනා එකී මතක සියල්ල අමතක කර දමනු වස් විවිධාකාර ක්‍රමෝපා භාවිත කරති. ‘‘එක්ටැම් මැඳුර’’ නමැති නිර්මාණය එවන් ක්‍රමෝපායක්  පිළිබඳ අනුභූතියකි. නමුදු එකී ක්‍රමෝපාය වුව ද කෙතරම් දුරට සාර්ථක ද, අසාර්ථක ද යන්න කිවිඳිය ව්‍යංගයෙන් පවසන්නී ය.


මතක අලි ඇතුන්ගෙන්

නිබඳ පැමිණෙත ගැහැට

විරහ සුන්බුන් දවා

සිත රකිනු නොහැකි විට



පොතක පිටු අතරමැද

තනා එක්ටැම් මැඳුර

සැඟව ගමි, අසපුවකි

එය ද ඔබගෙන් නොතොර



අතීත මතකවල බියකරුභාවය ඇඟවීම සඳහා කිවිඳිය උපස්තම්භක කරගන්නා සංකේතය කෙතරම් ප්‍රබල ද...? එමෙන් ම එකී අතීත මතක සුන් බුන් දවා හළු කරන්නට ඔහු හෝ ඇය තෝරාගන්නා උපක්‍රමය කෙතරම් සොඳුරු ද...? එහෙත් අවසන සිදුව ඇත්තේ කුමක් ද...? අතීත මතක අමතක කරන්නට කෙතරම් වැර වෑයම් දැරූව ද එය අසාර්ථක වී ඇති අන්දම ප්‍රකට කරන්නට කිවිඳිය‍ උපස්තම්භක කරගන්නා අවසන් පදය වන ‘‘එයද ඔබගෙන් නොතොර’’ යන්න තුළින් ගම්‍ය කරන්නී ය. මේ ඔබගේ ද, මගේ ද වෙනෙකෙකුගේ ද අත්දැකීමක් නොවනු ඇතැයි විශ්වාස කළ හැකි ද...? ලිපිය ආරම්භයේ දී ම සඳහන් කල පරිදි මෙම නිර්මාණයට ද ‘‘හොඳ ම වචන හොඳ ම පිළිවෙළට’’ ගළපා නැතැයි කිසිවකුට චෝදනා කළ නොහැකි ය. ඒ, කිවිඳියගේ කවිතාව හැර අන් කුමක් ද?

විවාහ දිවිය පිළිබඳ ලියැවී ඇති කවි ගී බොහෝ පවතී. ඒ බොහෝ කවි ගී තුළින් කියවෙන්නේ විවාහ දිවියේ සොඳුරු ඉම් පෙදෙස් පිළිබඳව ම ය. නිශාන්ත මල්ලවආරච්චි කවියා 2016 වසරේ දී ‘‘සිහින සඳළු තලයෙන් බැස’’ යන මැයෙන් විවාහ දිවිය පිළිබඳ අගනා කවක් පබඳා තිබිණ. (මෙම පදරචනය දර්ශන වික්‍රමතුංගගේ සංගීතයෙන් ඔපවත්ව නිර්වාන් ප්‍රබෝද්ගේ හඬින් ගීතයක් ලෙස ද ගායනා කර තිබිණ) එහි අන්තර්ගතව පැවතියේ: රටට අඬ බෙර ගසා, ලෝකයට ණය වී, මහා පරිමාණයෙන් පවත්වන විවාහ උත්සවය සහ ඉක්බිති විවාපත් යුවළ මුහුණ දෙන සැබැ යථාර්ථය පිළිබඳ අඳුරු, කටුක යථාර්ථය යි.

ප්‍රගීතිකා ද සිය කාව්‍ය සංග්‍රහයේ ‘‘ප්‍රේමප්‍රාප්ති’’ මැයෙන් අන්තර්ගත කර ඇති නිර්මාණය ද ප්‍රේමය, විවාහය සහ ලිංගිකත්වය පිළිබඳ සියුම් ඉඟි සපයන්නී ය.

දැවෙන සැඬ රැස්

තුරුලු කර ගෙන

සිහිල් කොට

මුදු එළිය විහිදන

සඳක මවු හදවතින් බිඳුවක්

සොයා යන සැරියක ය ඔබ මම



අතරමග මං ලකුණු පැටලෙන

අතරමං වන විට ද නොබිඳෙන

ඒ සියුම් හුය දෙහද උපදින

කුසුම් අමුණන සොඳුරු වියමන



පුරා හඳ හමුවෙන සුයාමය

නුරා ඉම ඉක්මවා යාම ය



විවාහ දිවියේ ඒකායන අරමුණ කුමක් ද යන්න පිළිබඳ කිවිඳිය මතු කරන අදහස මගේ පුද්ගලික මතයට පරස්පර වුව ද කාව්‍ය නිර්මාණයක් ලෙස මෙය අගනා බව පැවසිය යුතු ම ය. මන් ද කිවිඳිය පාඨක ප්‍රජාවගේ මනසේ සිතුවම් කරන රූපක: විවාහ දිවියේ ආරම්භය, විකාශනය සහ පැවැත්ම පිළිබඳ සලරු පෙළක් මෙන් සෞන්දර්යයෙන් අනූන ය; රසභාවයෙන් පිරිපුන් ය.
 


ඇතැම් කාව්‍ය සංග්‍රහවල අන්තර්ගත කවි බහුතරයක් පද ලෙස කියවිය හැකි ය. එහෙත් විඳිය නොහැකි ය. මන් ද කවියක් ‘‘කියවීම’’ සහ කියවූ කවියක් ‘‘විඳීම’’ යනු ඉක්ෂු දණ්ඩක් අග සිට මුලට හපා රස උරා බොනවා බඳු ක්‍රියාවලියකි. ඒ නයින් ගත් කල ‘‘හත්පෙති මලෙන් අත් හැරුණු පෙත්තක්’’ යනු ඉක්ෂු දණ්ඩකි. එය: හපා, රස උරා බී, මත්වන්නැයි ආරාධනා කරන අතර ම යට විමංසනයට බඳුන් කළ නිර්මාණ ත්‍රිත්වයට අමතරව: ‘‘මගේ සුරංගනා කතාව’’, ‘‘තෘණ මල් මතකය’’, ‘‘ඍතු සිතුම්’’, ‘‘කොණ්ඩ කරල්’’, ‘‘හාදු රොන් නදිය’’, ‘‘මතක විසුළ පෙත පොතකි ය’’, ‘‘පොකුරු වැස්ස’’, ‘‘සැන්දැග සුවඳ’’, ‘‘සෝ මැද මඳහස’’, ‘‘උඳුපියලිය මලක් ගෙන එන්න’’, ‘‘මිහිදුමක්’’, නමක් නැති සඳෙසකින්’’, ‘‘ලෙහෙන සිහින’’ සහ ‘‘අකාල චාරිකා’’ යන නිර්මාණ ද මගේ රස නහර පිනවූ නිර්මාණ කිහිපයකි.

(උපුටා ගැනීම් සියල්ලෙහි පද බෙදීම් සහ අක්ෂර වින්‍යාස ඒවායේ සඳහන් පරිදි ම ය.)
 
මතු සම්බන්ධයි...

 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2022/01/08

Leader Whats app

 
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
තත්ත්වය දරුණු අතට, බී .ආර්ගෙන් බුද්ධි අංශයක් .! | මොණරවිලගේ ලියමන
 
 
 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා