1200 x 80 DMirror

 
 

නොදියුණු යුගයේ විසූ මිනිසුන් බහුතරයක් දෙනා විශ්වාස කළේ ඔවුන් වෙත පැමිණි සියලු උපද්‍රව රැගෙන එන්නේ නොපෙනෙන බලවේග බවයි.



එය කෙතරම් බලසම්පන්න ද යත් ඔවුන්: වැස්ස, ගංවතුර, සුළග මතු නොව නියඟය පවා පැමිණෙන්නේ තමන් කෙරෙහි දෙවියන් කෝප වී ඇති නිසා යැයි විශ්වාස කළහ; ඒ වෙනුවෙන් ඔවුහු විවිධාකාරයේ යාග හෝම යනාදිය පැවැත්වූහ.

මිනිසෙකු විසින් කිසියම් අකටයුත්තක් කරනු ලැබූව ද ඊට එරෙහිව නැගී සිටින්නට තරම් ආත්ම ශක්තියක් නොමැති විට ඒ සඳහා ද දෙවියන්ට කන්නලවු කළහ.

එයින් නොනැවතුණු ඔවුහු තමන්ට කිසියම් අනතුරක් කළ, තමන්ගේ යමක් සොරකම් කළ, තමන්ට අයත් යැයි විශ්වාස කරන කිසියම් ජීවි අජීවි වස්තුවක් (වෙසෙසින් ම පුරුෂයෙකු නම් කාන්තාවක් ද කාන්තාවක් නම් පුරුෂයෙක් ද වශයෙන් එකිනෙකාට එරෙහිව) හිමි කරගැනීමේ අධිටනෙන් යනාදි සියලු කරුණු සඵල කරගැනීමේ අදහසෙන් වස් කවි ද කියූහ.

එසේ වස් කවි කීමේ දී කියන පාර්ශ්වයේ ගිහියෝ පමණක් නොව බුද්ධ පුත්‍රයෝ ද වූහ. මේ ලංකාවේ ප්‍රකට බුද්ධ පුත්‍රෙයකු කියුවා යැයි සඳහන් වස් කවියකි.

රම්රද විමන බෝ අත්තෙන් වැසී            ගියා
පව් කළ උළු සෙවිලි පලවල් දිරා            ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩි     යා
සුන්කර හරින් තෙදබල වීර   මුණ්‌ඩ          යා


මෙහි විශේෂත්වය වන්නේ මෙම වස්කවිය කියා ඇති පුද්ගලයා පමණක් ම නොවේ. එම පුද්ගලයා මෙම වස්කවිය කිව්වේ ඇයි ද යන්න ය.

බුද්ධ පුත්‍රෙයක් වූ කුකංකුනාවේ හාමුදුරුවෝ යැයි පරසිදු ස්වාමින් වහන්සේ මෙම වස් කවිය කියා ඇත්තේ නාථ දේවාලයේ වහලට අවහිරයක් වන සේ වැවී තිබූ බෝ අත්තක් ඉවත් කිරීම සඳහා ය.


ජනතාවගේ සුබ සිද්ධිය සඳහා මාර්ග පද්ධති පුළුල් කරන්නට යත්න දරද්දී ඊට බාධාවක් ලෙස පවතින කපුටු බෝ ගස් කපා හෙළීමට විරුද්ධව පෙළ ගැසෙන චීවරධාරියෝ වෙසෙන වර්තමානයේ කුකංකුනාවේ හිමි එදා කළ දේ එක් පසෙකින් උත්ප්‍රාස ජනක නොවන්නේ ද...? සාධාරණ නොවන්නේ ද...?

වැඩවසම් යුගයේ ද, රාජාණ්ඩු සමයේ ද, යටත් විජිත සමයේ ද මෙකී වස්කවි කීම ප්‍රචලිතව පැවතිණ. වර්තමාන යුගයේ ද එය සම්පුර්ණෙයන් ම බැහැර කර ඇති බවක් දක්නට නොමැත.

මේ සියලු කටයුතුවල නියැළෙන්නේ නොදියුණු මිනිසුන් බව පුන පුනා පැවසිය යුතු නොවේ. එමෙන් ම ඒ නොදියුණු මිනිසුන් එසේ ක්‍රියාකරනුයේ තමන් වෙත සිදුවන කිසියම් අසාධාරණ ක්‍රියාවකට එරෙහිව ය. බොහෝ විට එකී අසාධාරණ ක්‍රියාව සිදු කරන්නේ තනි පුද්ගලයෙකු එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව විය හැකි ය.

එසේත් නොමැති නම් එක් කුලයක, එක් ආගමක, එක් ජාතියක, මිනිසුන් තවත් කුලයක, ආගමක හෝ ජාතියක මිනිසුන්ට එරෙහිව විය හැකි ය.

ඒ අතර පාලකයන්ට එරෙහිව විරෝධය දැක්වීම උදෙසා ද ජනතාව: වස්කවි කීම, ගම්මිරිස් ඇඹරීම, පොල් ගැසීම යනාදී ක්‍රියාවල නිරත විය.  



Reggey සංගීත ආර :


බොබ් මාලේ : පීඩක පාලකයන්ට එරෙහිව තම විරෝධය දක්වනු වස් භාවිත කළේ Reggey සංගීත ආර ය.



නමුදු මිනිසා කෙමෙන් කෙමෙන් දියුණුව කරා එළඹෙන විට වස් කවි වෙනුවට විරෝධාකල්ප ගී ගයන්නට විය. ජාත්‍යන්තර මට්ටමෙන් සලකා බැලුව හොත් Reggey සංගීත ආර යනු ද එකී ආකාරයේ විරෝධාකල්ප ගී ආරකි.

1960 දශකයේ දී ජැමෙයිකාවේ දී එළි බට මෙකී ගී ආර තුළින් බොහෝ විට සිදු වී ඇත්තේ පීඩිත පංතිය විසින් පීඩක පංතිය වෙත එල්ල කළ විරෝධාකල්පයක් ලෙසිනි. විශේෂයෙන් ම ලොව පුරා විසූ කළු ජාතිකයන්ට එරෙහිව යුරෝපිය යටත් විජිතවාදීහු ගෙන ගිය පීඩනයට එරෙහිව අවියෙන් සටන් කිරීමට තරම් ශක්තියක් නොතිබූ ප්‍රජාව තම විරෝධය කියා පෑවේ මෙම ගීතවලිනි.

ලෝපතල ගායකයෙකු වන බොබ් මාලේ ද පීඩක පාලකයන්ට එරෙහිව තම විරෝධය දක්වනු වස් භාවිත කළේ Reggey සංගීත ආර ය. එම ආරම නොවූව ද වික්ටර් හාරා සිය සංගීතය සහ ගායනය භාවිත කළේ ද මුග්ධ පාලකයන්ට එරෙහිව ය.



‘‘විරෝධාකල්ප ගීත’’


ලංකා ඉතිහාසයේ මෙවන් විරෝධාකල්ප ගී ආරක් ආරම්භ වන්නේ 1971 පැන නැගි තරුණ අරගලය හා සමපාතව ය. රුදුරු පාලකයන්ට එරෙහිව අවි ඔසවන අතර ම සාහිත්‍ය කලාවෙන් ජනතාව දැනුවත් කිරීමේ අධිටනෙන් දියත් වූ විරෝධාකල්ප ගී ආර ලංකාවේ දී නාමකරණය වූයේ ‘‘විමුක්ති ගී’’ යනුවෙනි.



එම ගී පද රචනාවල සංගෘහිත වූයේ සුවහසක් දනා විඳි අපමණ: ආර්ථික, දේශපාලන සහ සමාජයීය ප්‍රශ්නවල ඇතුළාන්තය යි. සොබා දහමේ සුන්දරත්වය, ග්‍රාමිය සුන්දරත්වය, ආදරයේ හෝ ප්‍රේමයේ සුන්දරත්වය ‍යනාදිය වෙනුවට මෙම ගී පදවල අන්තර්ගත වූයේ දුගී දුප්පත් ජනතාවගේ දුක වේදනාව ය; ඊට එරෙහිව නැගී සිටින්නට නම් කළයුත්තේ කුමක් ද යන්න ය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් නිල වශයෙන් ම එළිදක්වන ලද විමුක්ති ගී ප්‍රසගයට අමතරව පසු කාලයක දී ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයේ ම නිර්මාතෘ ලෙස සැලකෙන නන්දන මාරසිංහගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු, ගුණදාස කපුගේ ප්‍රමුඛත්වය දැරූ ‘‘කාලයේ රාවය’’ ගී ප්‍රසංගය තුළින් සිදු කෙරුණේ ද මුග්ධ පාලකයන්ගේ නොපනත්කම් පිළිබද ජනතාව දැනුවත් කිරීම ය; එකී නොපනත්කම්වලට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීම ය.

ඉන් අනතුරුව 80 දශකයේ අවසාන භාගයේ රට තුළ සිදුවූ කුරිරු මිනිස් ඝාතනවලට එරෙහිව ජනතාව දැනුවත් කිරිම උදෙසා නන්දා මාලනීගේ ‘‘පවන’’ සහ ‘‘සත්‍යයේ ගීතය’’ ගුණදාස කපුගේ ඉදිරිපත් කළ ‘‘කම්පන’’ යනාදී ප්‍රසංග තුළින් ද සිදු කෙරුණේ: අසාධාරණයට, අයුක්තියට සහ භීෂණයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම ය.

එම ප්‍රසංග සියල්ලෙහි ම ගැයුණු ගීත හැඳින් වූයේ ‘‘විරෝධාකල්ප ගීත’’ යනුවෙනි.

එපමණක් නොව එකළ පැවති භීෂණයට මෙන් ම මුග්ධ පාලනයට එරෙහිව සංගීතවේදියෝ ද තම දක්ෂතා උපයෝගී කරගනිමින් විරෝධය පළ කළහ. ඒ අතුරින් ප්‍රමුඛත්වයෙහි ලා සැලකිය හැක්කේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස විසින් පවත්වන ලද ‘‘නිදි නැති නදියේ නාදය’’ නමැති ගී ප්‍රසංගය යි.

 maxresdefault

 
තවත් විරෝධාකල්ප ගී කැසට් පටයක් ද (එහි නම අමතක ය) එකල නිකුත් විය. එම කැසට් පටයේ අන්තර්ගත ගී පද රචනා සියල්ල ම එකල පැවති මුග්ධ පාලනයට එරෙහිව රචනා වූ ගී වීම විශේෂිත ය.

මේ සියල්ල අතර උතුරේ පැවති සන්නද්ධ අරගලය වෙනුවෙන් දෙමළ ජාතිකයන් ද විරෝධාකල්ප ගී ගැයූහ.

 එමෙන් ම උතුරේ ජන සංහාරයට එරෙහිව දකුණේ ද විරෝධාකල්ප ගී ගැයූහ. එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ වාමාංශික පක්ෂ නොව එකල ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විමුක්ති ගී ගැයූ ජයතිලක බණ්ඩාර ය.

ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ එම විරෝධාකල්ප ගී ප්‍රසංගය නම් කර තිබුණේ ‘‘සාධු ජන රාව’’ නමිනි.


කණ්ඩායම් වශයෙන් පමණක් නොව ජයතිලක බණ්ඩාර මෙන් ම තනි තනි පුද්ගලයන් ලෙස ද විරෝධාකල්ප ගී සාහිත්‍ය කෙරෙහි නැඹුරු වූ ගායක ගායිකාවෝ ද බිහි වූහ. නන්දා මාලනී, ගුණදාස කපුගේ සහ ජයතිලක බණ්ඩාර මෙන් ඒක පුද්ගල ප්‍රසංග නොපැවැත්වුව ද ප්‍රදිපා ධර්මදාස ගායන ශිල්පිනිය ද එකල බොහෝ විරෝධාකල්ප ගී ගැයුවා ය.

ඒ අතුරෙන් වඩාත් ජනප්‍රයත්වයක් ඉසිලුවේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත ‘‘සොයා දියව් මට සරණක්’’ නමැති ගීතය යි. ඇය ගැයූ, රත්නමාලි බන්දුල ගුණවර්ධන විසින් රචිත ‘‘කොළොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම’’නමැති ගීතය ද විවෘත ආර්ථිකයේ නිරුවත හෙළ කෙරෙන විරෝධාකල්ප ගීයක් ලෙස ප්‍රචලිත විය.

 
1977 වසරේ සිට 1994 වසර දක්වා වසර 17 ක් පුරා පැවති දූෂණය, භීෂණය රජ කරවූ ආණ්ඩුවට එරෙහිව ඒ ආකාරයට ගීයෙන් පෑ විරෝධය නව පාලන තන්ත්‍රයක් බිහි කිරීම දක්වා වර්ධනය විය. නමුදු එතැන් සිට මේ දක්වා පැවති අමානුෂික පාලන තන්ත්‍රවලට එරෙහිව යම් යම් ආකාරයේ විරෝධාකල්ප කවි ගී සාහිත්‍ය නිර්මාණ බිහි වුව ද මීට පෙර සඳහන් කළ පරිදි බරපතළ ගණයේ කවි ගී සාහිත්‍යයක් බිහි නොවු බව නොරහසකි.

මෑත යුගයේ විරෝධාකල්ප කවි ගී සාහිත්‍ය වෙනුවට බිහිවූයේ ප්‍රශස්ති ගායනා ය. එකී ඛේදය කෙරම් උත්සන්න වුවා ද යත් පාලකයා වෙනුවෙන් ප්‍රශස්ති ගීයක් ගැයු පමණින් ම අදාළ ගායිකාවගේ නමින් මාර්ගයක් නම් කිරීමට පවා එකී පාලකයෝ කටයුතු කළහ.
 
මෙවන් වාතාවරණයක් යටතේ වුව ද කරළියට පැමිණි ඉතා ප්‍රබල ගණයේ විරෝධාකල්ප ගීයක් මීට දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. මතු දැක්වෙන්නේ එම ගීතය යි.


බිහිරනේ...
ගොළුවනේ...
 

බිහිරනේ...
ගොළුවනේ...
කියාපන් මට හස්ත මුද්‍රාවෙන්
නොඉඳ බොරුවට ඇස් පියා
මිදී නිද්‍රාවෙන් ....
 

විනිසුරනි කුමට ද තරාදිය
විනිසුරනි කුමටද තරාදිය
රජුන් සොරකම් කරපු වස්තුව
කිරන්නට බය හිතේ නම්
සෙබළුනේ කුමකට ද ගිනි අවි
කැටේ මසුරන් හොරෙන් ගද්දී
කොකා හිරවී තියේ නම්
 

බිහිරනේ...
ගොළුවනේ...
කියාපන් මට හස්ත මුද්‍රාවෙන්
නො ඉඳ බොරුවට ඇස් පියා
මිදී නිද්‍රාවෙන් ....
 

යතිවරුනි කුමකට ද බණ පද
යතිවරුනි කුමකට ද බණ පද
රජුන් නිර්වස්ත්‍රයෙන් හිඳිද්දී
පිරිත් නූලක් බඳී නම්
කිවිසුරාණෙනි කුමට පෙම් කවි
නොරටුනට රට සින්න වෙද්දී
පෑන් තුඩ ගොළු වෙලා නම්
 

බිහිරනේ...
ගොළුවනේ...
බිහිරනේ...
ගොළුවනේ...
කියාපන් මට හස්ත මුද්‍රාවෙන්
නො ඉඳ බොරුවට ඇස් පියා
මිදී නිද්‍රාවෙන් ....
 

  
මෙම ගීතයේ පද රචනය විරෝධාකල්ප ගණයේ කාව්‍ය රචකයෙකු වන ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටිගෙනි. සංගීතය විශාරද සරත් පිරිස්ගෙනි. මීට වසර ගණනාවකට ඉහත සවන් දුන් විරෝධාකල්ප ගී සිහියට නංවමින් මෙම ගීය ගායනා කරන්නේ විශාරද කුමුදු රත්නායක ය.
 
පද රචකයා නිභයව ම ප්‍රශ්න කරන්නේ ගොළුවන් බිහිරන් සේ කටයුතු කරන රටේ ජනතාවගෙනි. අනෙක් පසින් වත්මන් පාලකයන්ගේ පාලන තන්ත්‍රය සහ එකී පාලන තන්ත්‍රය වෙනවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතන කිහිපයකිනි; එමතු නොව කවියන්ගෙන් ද ඔහු ප්‍රශ්න කරයි. එකී ආයතන වර්තමානයේ පත්ව ඇති තත්ත්වය පිළිබඳව මෙන් ම එකී ආයතන කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ඍජුව ම ප්‍රශ්න කරන රචකයා කවියන්ගෙන් ද ඉල්ලා සිටින්නේ කුමක් ද...? පිටරැටියනට රට සින්න වෙමින් පවතින මොහොතේ පෙම් කවි ලියමින් සිට ඇති පලය කුමක් ද යන්න ය.
 

මෙම ගීතය පිළිබදව මගේ අදහස කිසියම් පුද්ගලයෙක් සමග පැවසූ මොහොතේ ඔහු පවසා සිටියේ එහි අන්තර්ගත වචන අමු බවයි. එමෙන් ම කිසිදු කාව්‍යාත්මකභාවයක් නොමැති ඍජු ප්‍රකාශ බවයි. ඔහු ඒ සඳහා උදාහරණ ලෙස ගෙනහැර පෑවේ පවන සහ සත්‍යයේ ගීතය යනාදි ප්‍රසංගවල ගැයූ ගි පද රචනා පිළිබඳව ය.

ඔහු වටහා නොගත්ත ද එම ප්‍රසංගවල ගායනා කළ බොහෝ ගීත ද ඍජු ප්‍රකාශ ම ය; ඒවායේ ද ඔහු පවසන ආකාරයේ කාව්‍යාත්මකභාවයක් දක්නට නොලැබිණ. ඒ පිළිබද කිසිදු ගැටලුවක් ද නොමැත්තේ ය. මන්ද විරෝධාකල්ප ගී යනු රටේ වෙසෙන සියලු ජනතාවට වටහාගත හැකි වචනවලින් සංගෘහිත පද රචනා විය යුතු ය.

සම්භාව්‍ය වදන් යෙදූ පමණින් විරෝධාකල්ප ගී වඩ වඩාත් ජනතාව අතරට රැගෙන යා නොහැකි ය. එය පැවතිය යුත්තේ රටේ සාමාන්‍ය ජනතාව අබියස ය. මන්ද බහුතරයක් ජනයා ප්‍රබුද්ධ රසික රසිකාවෝ නොවන බැවිනි.

ඒ පාර්ශ්වයෙන් ගත් කල ‘‘බිහිරනේ’’ ගී පද රචනය මෙරට වෙසෙන සියලු ජනතාවගේ හද මනස අවදි කරන ගී පද රචනයකි. එමෙන් ම එහි සංගීතය ද ගායනය ද නිද්‍රාගත ජනතාවගේ හද මනස අවදි කරන සංගීත සංකලනයකි; ගායන විලාසයකි. එමෙන් ම මෙය විරෝධාකල්ප ගීත සාහිත්‍ය යළි සමාජ ගතකිරීමේ ආරම්භයකි; ප්‍රශස්ති ගායනා බැහැර කර රටේ පවත්නා බරපතළ අර්බුදකාරි තත්ත්වය මැනවින් ප්‍රකට කරන ගීයකි.


ඉදින් රසික රසිකාවනි... මේ කෙමෙන් කෙමෙන් අගාධය කරා යන රටේ වත්මන් තත්ත්වය කෙරෙහි යළි අවධානය යොමු කළ යුතු කාලය යි; ඒ වෙනුවෙන් කවි ගී පබැඳිය යුතු සහ ගැයිය යුතු කාලය යි. සැබැවින් ම රටට ආදරය කරන ජනතාවක් සිටින්නේ නම්, මේ ඒ ජනතාව එක පෙළට පෙළ ගැස්විය යුතු කාලය යි.

රට තුළ සැබැ දේශ ප්‍රේමින් සිටින්නේ නම්, එළඹ ඇත්තේ ඒ සඳහා ආරම්භයක් ලබා දුන්: පද රචකයාට, සංගීත ශිල්පියාට සහ ගායන ශිල්පිනියට අනේක වාරයක් ස්තුති වන්ත විය යුතු, ඔවුන් දිරිමත් කළ යුතු කාලය යි.
 

jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/12/19  

 

 

 

Leader Whats app

 
 
 

 

මහින්දට බායි! අගමැති පුටුවට හායි!

 

ඒ සීයට දුන්නට මේ සීයා ගේමක ! | මොණරවිලගේ ලියමන

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්