1200 x 80 DMirror

 
 

කසු කුසු සහිතව ගතවූ මිනිත්තු පහක පමණ කාලය අවසන් වනවාත් සමග ම සිදු වූයේ කිසිදු දිනක බලාපොරොත්තු නොවූ සිදුවීමකි; එය පුද්ගලිකව මට

පමණක් නොව පංතියේ සමස්ත සිසු සිසුවියන් වුව ද කෙදිනක හෝ බලාපොරොත්තු නොවූ සිදුවීමකි. එහෙත් දැන් එය සිදුව ඇත; ‘සිදුව ඇත’ නොව එය සිදු කර ඇත.

අමෝද්‍ය සර්ගේ රුව දකින්නට බලාපොරොත්තුවෙන් සිටි මගේ දෙනෙත් මත වලාපටලයක් බැඳුණා සේ විය; ඔහුගේ හඬ අසන්නට සිටි මගේ දෙසවන් අගුළු වැටුණා සේ විය; ප්‍රහර්ෂ සුසුම් පුරවාගන්නට සිතා සිටි පෙණහලු තුළට කළු දුමාරයක් ඇතුළු විය; ආල නුරාවෙන් සන්තර්පණය වෙන්නට බලා සිටි හදවත ශෝක වේදනාවෙන් රිදුම් දුණි.



අමෝද්‍ය සර් වෙනුවට පංතිකාමරයට ඇතුළු වූයේ වෙනත් ගුරුවරියකි. ඇගේ සැබෑ නම මාලිනී ය. එසේ වුව ද පාසලේ බහුතරයක් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇය හඳුන්වන්නේ ‘ආදේශිකා’ යන අන්වර්ථ නාමයෙනි. ඒ, පාසලේ කුමන විෂයක් උගන්වන ගුරුවරයෙක් හෝ ගුරුවරියක් කිසියම් හේතුවක් මත: වෙනත් පාසලට මාරු වී යාම/මාරු කිරීම, අසනීප වී මසක් දෙකක් නොපැමිණීම, වැඩ තහනමකට ලක්වීම යනාදි ඕනෑ ම අවස්ථාවක එම ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ හිස් තැන පුරවන්නට යොමු කරවන්නේ මෙම ගුරුවරිය වන බැවිනි. මීට පෙර ඇය අපට සම්මුඛ වූයේ සාමාන්‍ය පෙළ ඉගෙනගන්නා සමයේ දී ය. ඒ ද දින කිහිපයක් පමණි. එක් අවස්ථාවක් නම් මගේ මතකයේ තවමත් රැඳී පවතී. ඒ, එකල අප හට විද්‍යා විෂය ඉගැන්වූ ගුරුවරිය ප්‍රසුත නිවාඩු යාමෙන් ඉක්බිති එම විෂය ඉගැන්වීම සඳහා ‘ආදේශිකා’ ආදේශ කර තිබූ බැවිනි. අනෙක් අවස්ථා පිළිබඳ විශේෂ මතකයක් ඇති නැති තරම් ය. ඒ අනුව ඇගේ පැමිණීමෙන් ගම්‍ය කෙරෙන්නේ අමෝද්‍ය සර් වෙනුවට ඇය ආදේශ කර ඇති බවයි. එසේ වුයේ ඇයි...?

‘‘ඒයි... කොහෙද බං බලාගෙන ඉන්නෙ...? නැගිටහං...’’

මගේ දකුණු පස සිටි නවෝද්‍යා එලෙස අණ කළේ මගේ ඉණ පෙදෙසට ඇඟිල්ලෙන් අනින අතරතුර ය. එතෙක් මගේ කය පංති කාමරයේ තිබුණ ද සිත බොහෝ දුර ගමන් කර තිබිණ. සැණෙකින් යළි සිත පංති කාමරයට රැගෙන ආ මා අනෙක් සිසු සිසුවියන් සේ ම ක්ෂණිකව නැගී සිටියේ අවසිහියෙන් මෙනි. ඒ වන විට ආදේශිකා මිස් පංතියට පැමිණ ඇගේ අත්බෑගය සහ ඇය රැගෙන ආ පොත් කිහිපය ද මේසය මත තබා අවසන් කර තිබිණ.

‘‘ආයුබෝවන් දූල පුතාලා...!’’

මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂිකාවක සේ: දකුණු උරිසටත් වඩා මඳක් ඉහළින් ද දකුණු කොපුල ආසන්නයට වන සේ ද දෑත් එක් කර සිසු සිසුවියන්ට ආචාර කළ සැණින් අපි ද ඇයට ආචාර කළෙමු.

අපි දන්නා කාලයේ සිට ඇය අනෙක් ගුරුවර ගුරුවරියන් සේ දැත් එක් කර ළය මඩලත් ගෙලත් ආසන්නයට ගෙන ආයුබෝවන් කියනු දැක නැත. ඇගේ ආචාර කිරීමේ ක්‍රමය අනෙක් ගුරුවර ගුරුවරියන්ගෙන් වෙනස් වන්නේ එබැවිනි. බොහෝ සිසු සිසුවියන් මෙන් ම ගුරුවර ගුරුවරියන් ද පවසන්නේ ඇය කිනම් මොහොතක හෝ ඇගේ උවන ආවරණය වනසේ කිසිවක් ම නොකරන බවයි. ඇය කිසිදු දිනක හිස පොළොවට හරවාගෙන නොයන්නී ය. වැස්සෙන් මෙන්ම අව්වෙන් ආවරණය වීම සඳහා කුඩයක් ඉහළාගෙන ගිය ද ඇය කිසිදු දිනක ඇගේ උවන ආවරණය නොකරන්නී ය. ඊට බලපා ඇති සැබෑ හේතුව කුමක් වුව ද නිර්මාණය වී ඇති හේතුව නම් ඇය සැම විට ම ඇගේ උවන ප්‍රදර්ශනය කිරීමට ඇති නොතිත් රුචිකත්වය බවයි.

8403256a624544c1ac7ba7b2f2727df6

ඇය සැබැවින් ම හැඩකාර ය; එමෙන් ම කටකාර ය; උවන ද සිරියාවන්ත ය; කිසිදු දිනක ලවනාලේප භාවිත නොකළ ද ඇගේ දෙලවන් ළා රෝස පැහැති ය; දසන් දෙපළ ද ශ්වේත වර්ණ ය. ඇගේ උවන එක් වරක් දුටු පිරිමියෙකු මතු නොව ගැහැනියක වුව ද යළිත් වතාවක් එදෙස බලන්නට පසුබට නොවන බව සමස්ත පාසල ම පිළිගන්නා කරුණකි. ඇගේ උවන එතරමට ම සිත් ඇදගන්නාසුලු ය; ඇගේ කටහඬ ද මිහිරි ය; ඇගේ සිරුර ද පිරිපුන් ය. ඒ සිරුරෙහි වෙළී එහි පහස ලබන්නට අකමැති පිරිමියෙකු වේ නම් හේ කිසියම් රෝගයකින් පෙළෙන්නකු විය යුතු ය.



කාන්තාවක සතු විය යුතු යැයි සම්මත සියලු අංග ලක්ෂණ ඇය සතුව පැවතිය ද මේ වන විට සතළිස් විය ද පසු කර සිටින ඇය තවමත් අවිවාහක ය. ඇය නිරතුරුව ම ඇගේ උවන අනෙකා වෙත ප්‍රදර්ශනය කරන්නේ කවදා හෝ කිසිවකු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරතැයි යන බලාපොරොත්තුවෙන් යැයි පාසල පුරා ම කටකතාවක් පැතිර පවතී. එහෙත් ඇය පාසලේ කිසිදු ගුරුවරයෙකු කෙරෙහි හෝ කිසිදු ගුරුවරයෙකු ඇය කෙරෙහි හෝ ආසක්ත වී ඇති බවක සේයාවක් හෝ දැනගන්නට නොමැත. එහෙත් ඇය නව යොවුන් වියේ පසුවන ගුරුවරියන් කෙරෙහි මෙන් ම ඒ ඇතැම් ගුරුවරියන් ද ඇය කෙරෙහි වෙසෙස් රුචිකත්වයක් දක්වන බවට දූසමාන ආරංචි පැතිර පවතී. කෙතරම් ආරංචි පැතිර පැවතිය ද, ඇගෙන් ඒ පිළිබඳ කිසිවක් ම විමසන්නට හෝ ඇයට එරෙහි කිසිදු චෝදනාවක් ගොනු කරන්නට මෙතෙක් කිසිවකු උත්සාහ නොකිරීම ද විශේෂත්වයකි. ඊට බලපා ඇත්තේ ඕනෑම විෂයයක් පිළිබඳව ඇය සතුව පවත්නා  විෂයානු බද්ද දැනුම නොවේදැයි මට සිතිණ.

 ‘‘දැන් ඔය ළමයි ඉන්නෙ පුදුම වෙලා නේද...?’’

එසේ විමසූ ඇය ඉතා සෙමෙන් සෙමන් ගුරු මේසය ඉදිරියට පැමිණියා ය; පංතියේ සියලු දෙනා ම තවමත් නිහඬ ය. එහෙත් සැවොම මාරුවෙන් මාරුවට එකිනෙකාගේ දෑස් පටලවමින් පසුවෙති. කිසිවකුගේ මුවකින් කිසිදු වදනක් මුදා නොහැරිය ද ඒ සෑම දැසක් තුළින් ම විශ්මයාර්ථ ලකුණු මෙන් ම ප්‍රශ්නාර්ථ ලකුණු විසිරෙමින් පැවතිණ; ඒ ලකුණු එකිනෙකාගේ මනසේ ඔබ මොබ සැරිසැරී ය. ඒ කිසිවක් කිසිවකුට අල්ලා නවතාලන්නට නොහැකි විය. සිසු සිසුවියන්ගේ නිහඬතාව බිඳිමින් ඇය යළි ඇගේ හඬ පංතිය පුරා විසුරුවාලූවා ය.

‘‘ඔවු... පුදුම ඇති. ඒකෙ ආයෙ වචන දෙකක් නෑ. කමක් නෑ... අපි ඒ කාරණය පැත්තකිං තියමුකො... අද ඉඳල ඔය ළමයින්ට ‘සිංහල සාහිත්‍ය’ උගන්නන්නෙ මං. මතක තියාගන්න... ‘සිංහල සාහිත්‍ය’ උගන්නන්නෙ මං.’’

 

sc

යළි පංතියේ සිසු සිසුවියෝ එකිනෙකාගේ දැස් එකිනෙකා වෙත පා කර හැරියහ. එහෙත් ඒ කිසිදු දැසක පිළිතුරක සේයාවක් හෝ දක්නට නොතිබිණ. සෑම දෑසක ම සිතුවම් වී තිබුණේ ප්‍රශ්නාරථ සහ විශ්මයාර්ථ ලකුණු පමණක් ම ය. එක් වරම මගේ වම් පස පේළියේ සිටි ශිෂ්‍යයෙක් නැගී සිටිනු දුටු මම එදෙසට අවධානය යොමු කළෙමි.

‘‘මිස්... මං දන්නෑ අනිත් අයට කොහොමද කියල. මට මිස් කියපු දේ තේරුණේ නෑ. හැබැයි එක දෙයක් පැහැදිලි උණා.’’

පංතිය පුරා පැවති නිශ්ශබ්දතාව පලවා හරිමින් ඒ වදන් මුදා හැරියේ විචක්ෂණ ය. ඔහු පංතියේ අනෙක් සිසු සිසුවියන්ට වඩා බෙහෙවින් ම වෙනස් ය; නිර්භය ය. ඔහුට යමක් නොවැටහුණේ නම් කිසිදු පැකිළීමකින් තොරව එය ගුරුවරයාට හෝ ගුරුවරියට පවසන්නට පසුබට නොවන්නේ ය. ඇතැම් ගුරුවර ගුරුවරියන් විචක්ෂණගේ ප්‍රශ්න කිරීම් කරදරයක් සේ සිතුව ද තවත් සමහර ගුරුවර ගුරුවරියන් එය ඉතා හොද ලක්ෂණයක් සේ දකිති. මගේ අමෝද්‍ය සර් ද එසේ ය. ඔහු වඩාත් ඇල්මක් දැක්වූයේ නිරන්තරයෙන් පැන විමසන සිසු සිසුවියන් කෙරෙහි ය. ඔහු නිතර ම පැවසුවේ යමක් නිවැරැදිව ඉගෙනීමට කැමති යමෙක් සිටින්නේ නම් ඔහු හෝ ඇය නිරන්තරයෙන් ම ගුරුවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බව ය. ආදේශිකා මිස් ද එවැන්නියක බව අසා ඇති බව මට සිහිපත් විය.

‘‘අන්න හරි පුතා... අන්න හරි... දැන් මට කියන්න නොතේරුණ දේ සහ පැහැදිලි උණ දේ මොකද්ද කියල. මං දෙක ම පැහැදිලි කරන්නං.’’

ආදේශිකා මිස් ඉතා මෘදු ලෙසින් පැවසුවා ය. ඇගේ කටහඬ ඉතා මිහිරි ය; ඒ හඬට ඕනෑ ම පුද්ගලයෙක් වශීවනසුලු ය.

‘‘අපහැදිලි කාරණය තමයි මිස් අමෝද්‍ය සර් එන්නැති එක. පැහැදිලි කාරණය තමයි මිස් අපිට උගන්නන්නෙ ‘සිංහල සාහිත්‍යය’ විතරයි කියන එක. තවත් විදියකිං කියනවනං සිංහල භාෂාව උගන්නන්න වෙන මිස් කෙනෙක් හරි සර් කෙනෙක් හරි එනව කියනෙක.’’

කිසිදු පැකිළීමකින් තොරව විචක්ෂණ වදන් මුදාහළේ ය. පංතියේ සියලු දෙනා ම විචක්ෂණ දෙස නෙත් අයා බලා සිටියහ. ආදේශිකා මිස් ද ඔහු දෙස බලා සිටියේ තරමක වික්ෂිප්තභාවයකින් බව ඇගේ උවනේ සිතුවම් වී තිබෙනු දක්නට ලැබිණ.

‘‘හරියට හරි පුතා...’’ යැයි පැවසූ ආදේශිකා මිස් එතෙක් විචක්ෂණගේ උවනෙහි අලවා තිබූ ඇගේ දීප්තිමත් දෙනෙත් පංතියේ සියලු සිසු සිසුවියන්ගේ මුවගෙහි තවරාගෙන ගොස් යළි විචක්ෂණගේ උවන අසල නතර කර ‘‘මේ පුතාට දැනුණ දේ පංතියෙ තව කාට හරි දැනුණ ද...?’’ යැයි විමසුවා ය.

ක්ෂණයකින් ‘‘මිස්’’ යැයි පවසමින් නැගී සිටියේ දුලීකා ය.

‘‘ඔවු... අහන්න දුව... මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ... ආ... අර කලින් ප්‍රශ්නෙ අහපු පුතාගෙ නම මොකද්ද...?’’ යැයි විමසමින් ම ඇය විචක්ෂණ දෙසට අවධානය යොමු කළා ය.

එවිට ම නැගී සිටි විචක්ෂණ ‘විචක්ෂණ’ යැයි පිළිවදන් සැපයී ය.

‘‘ආ... විචක්ෂණ...! ඔයාට ම ගැළපෙන නම... හරි හරි... පුතා දැං වාඩිවෙන්න පුතා... දැං ඔය දුවගෙ ප්‍රශ්නෙ අහන්න...’’ යැයි පවසන අතර එතෙක් සිටගෙන සිටි දුලීකා දෙසට අවධානය යොමු කළා ය.

‘‘මිස් මේ... ඇයි අමෝද්‍ය සර් එන්නැත්තෙ... සර් වෙන ඉස්කෝලෙකට මාරු කරලද මිස්...?’’

දුලිකාගේ පැනය ආදේශිකා මිස්ගේ සවන් තුළට ඇතුළු වීමට පෙර ඇතුළු වුයේ මගේ දෙසවන් තුළට ය.

‘දෙවියනේ...! දුලී ඒක ඇහුවෙ මං වෙනුවෙන් නේද... අනේ දෙයියනේ...! එහෙම දෙයක් නං වෙන්නෙපා...’

මුවෙන් ගිලිහෙන්නට ආ එම වදන් අසිරුවෙන් සිත තුළ සිර කරගත් මම ආදේශිකා මිස්ගේ මුව දෙස මගේ දෑස් පමණක් නොව සවන් ද ඇලෙව්වෙමි.

‘‘දුව... මට ඔයාගෙ එක ප්‍රශ්නෙකට නිවැරැදිව ම උත්තර දෙන්න පුළුවං. හැබැයි ඉතිරි ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. බෑ නෙවෙයි ඇත්තට ම දන්නෑ.’’

ආදේශිකා මිස් ඉතා කාරුණික ස්වරයෙන් පැවසුවා ය.

දුලීකා තවමත් සිටගත් ගමන් ම ය.

okj

‘‘හරි... දුව දැන් ඉඳගන්නකො... ආ... ඊට කලිං මට දුවගෙ නමත් කියන්නකො... මං හැමෝගෙංම නම් අහන්නං... ඔයාල ඕ ලෙවල් පංතියෙදි දවස් කීපයක් හම්බවෙලා තිබුණට මට දැං ඒ එක නමක්කත් මතක නෑ දරුවනේ... දැං අවුරුදු දෙක තුනක් විතර ඇති නෙ...’’ යැයි පැවසූ ආදේශිකා මිස් ‘‘හරි... දැං මේ ඉස්සරහ ම පේළියෙ දකුණු පැත්තෙ ඉඳල පිළිවෙළට නැගිටල එක එක්කෙනා මට තම තමන්ගෙ නම් කියන්නකො... ඒත් මට එකපාට්ටම මතක තියාගන්න බැරිවෙයි... එහෙම උනොත් මං ඒ ඒ වෙලාවට අහන්නංකො... හරි... කෝ... මේ කෙළවරෙන් පටංගන්නකො...’’ යැයි පවසන අතරම මිස් ඉදිරිපස පේළියේ ඇගේ දකුණත දෙසට ගමන් කළා ය.

එතැන් සිට එක් එක් ශිෂ්‍යයා බැගින් තම තමන්ගේ නම පැවසුවේ ය. සියලු ම පිරිමි ළමයින්ගේ නම් දැනගැනීමෙන් පසුව ඉදිරි පේළියේ වම් පස දෙසට ඇවිද ගිය ආදේශිකා මිස් ‘‘හරි දැන් ඔය දුවල එක එක්කෙනා නැගිටල තම තමන්ගෙ නම කියන්නකො’’ යැයි පවසා ඔවුන් එකිනෙකා දෙස අවධානයෙන් සිටියා ය.

මා නැගිට මගේ නම පවසන මොහොතේ ආදේශිකා මිස්ගේ උවනතේ ඉරියව් වෙනස් වන්නේ දැයි මා දැඩි විමසිල්ලෙන් සිටිය ද ඇගේ උවනේ අංශු මාත්‍රයක හෝ වෙනසක් පිළිබිඹු නොවිණ. එය මගේ සිතට ගෙන ආවේ සියුම් සැනසිල්ලකි; තාවකාලික සියුම් සැනසිල්ලකි. එහෙත් හදවතේ ගැස්ම තවමත් පෙර සේ ම ය. සිදුව ඇත්තේ කුමක් ද... සිදු කර ඇත්තේ කුමක් ද... අනාගතයේ සිදුවන්නේ මොනවා ද... මෙ සියලු ප්‍රශ්න මගේ මනසේ ඔබ මොබ ගමන් කරන විට මට දැනුණේ මොළය තුළ කුරුමිණියෙකු ගමන් කරනවා බඳු වේදනාවකි.

‘‘හරි... දැං ඔන්න මං ආයෙත් වතාවක් ඔය දූල පුතාල අඳුරගත්ත,’’ යැයි පැවසූ ආදේශිකා මිස් අපි සියලු දෙනාට ම පියකරු සිනාවකින් සංග්‍රහ කර ඇයට හිමි අසුනේ අසුන්ගත්තා ය. සැණෙකින් යමක් සිහිපත් වී යළි නැගී සිටි ඇය ‘‘ආ... අර දුව ප්‍රශ්න දෙකක් ඇහුව නෙ නේද... මේ... අමෝද්‍ය සර්...’’ යැයි පවසන විට ම සිංහල විෂය සදහා වෙන් කර තිබු කාල පර්ච්ඡේදය අවසන් වන බව හඟවන ඉලෙක්ට්‍රොනික නළා හඩ පාසල පුරා රැව් පිළිරැව් දුණි.

‘‘ම්ම්ම්... දන්නෙ ම නැතුව පීරියඩ් එකත් ඉවර වෙලා නෙ... කමක් නෑ... අපි හෙටත් හම්බ වෙනව නෙ... ඔයාල හෙට එද්දි අමෝද්‍ය සර් සිංහල සාහිත්‍ය පාඩම ඉවර කරපු තැන ආයෙත් පාඩං කරගෙන එන්නකො... අපි හෙට වැඩි විස්තර කතා කරමු...’’ යැයි පවසන අතර ම එතෙක් මේසය මත තිබූ ඇගේ අත් බෑගය උරිසෙහි රඳවාගත්තා ය. ‘‘ එහෙනං දරුවනේ... අපි හෙට හම්බවෙමු... ආයුබෝවන්...!’’ යැයි පවසනවාත් සමග ම පංතියේ සියලු දෙනා ම නැගී සිට ඇයට ‘‘ආයුබෝවන් මිස්...!’’ යැයි පැවසූහ. අනතුරුව ආදේශිකා මිස් මේසය මත තිබූ ඇගේ පොත් ගොන්න ගෙන ළැමට තුරුලු කරගත්තා ය.

ඉවර නෑ...




jayasiri 04 e1619629387941.jpg(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/05/27



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්



වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 

Leader Whats app

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා