ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමටත්, කප්පම් ලබාගැනීම සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්
කිරීමටත්, වැලිකඩ සැලසුම් කරන ලද සමූහ ඝාතනයටත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයටත් ආදී වශයෙන් ලංකාව නම් අපරාධ රාජ්‍යයේ තීරණාත්මක තැන්වලදී ඝාතකයන් කිසිවකු හිරගෙදර ගියේ නැත.
ඒ වෙනුවට කොන්ත්‍රාත්කරුවෝ, නැතහොත් නමට විත්තිකරුවෝ කිහිපදෙනෙක් හිරේ ගොස් ආපහු ආහ.
මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය ගැනත් කියන්නට ඉතිරිව ඇත්තේ එපමණකි. නගර සභාවක සුළු සේවකයෙකු අත්අඩංගුවට ගෙන, ඊට ලබාදෙන පැරණි ජාතියේ මාධ්‍ය ප්‍රචාර මගින් කියන්නේ මහ මොළකරුවන් හිරේ නොයන බවයි. මහින්ද රාජපක්ෂලා සුරක්ෂිත බවයි.
ඇස් බැඳුනු - සළු පැළඳු කන්‍යාවියට ඊට හැකියාවක් නැත. නීතියේ දෙවඟන හෙවත් තරාදිය අතින් ගත් මේ කන්‍යාවියගේ ඇස් බැඳ ඇත්තේ කිසිවකු විශේෂිත ලෙස නොදැක, තීන්දු-තීරණ ගැනීමට ය. සමාන ලෙස සැලකීමට ය.
තරාදිය හැමවිටම දෙපැත්ත බැලන්ස් විය යුතුය.
ඇය කන්‍යාවියකි.
මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත, මිහිඳු ආරියරත්නගේ 'කන්‍යාවී' ගීතයේ පද පෙළේ ඇති තීරණාත්මක ම වචනය කන්‍යාවී යන්නයි.
'නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි'
මැරී - නොමැරී - නෑ නොමැරී ... ඇය මැරිලා ය. කන්‍යාවිය පණපිටින් මැරිලා ය. තීරණාත්මක ලෙස ඇයගේ ස්වාධීනත්වය අහිමි කර ඇත. එහෙත් සළු පළඳා තිබේ. පිටතට පේන්නට, ඇඟ බේරාගන්නට සළු පළඳා තිබේ.
71දී, 88-89දී, 2009දී තවත් කොච්චරක් නම් වීදි පුරා, කාණු දිගේ රුධිරය ගලාගියේ ද? ඒ පිලී ගඳ ගිලගත් මේ පොළොව සුවඳවත් කරන්නට අඩු තරමේ පියවරක් හෝ ඉදිරියට තබන්නට හැකි වී තිබේද? ඒ වෙනුවට කාණු දිගේ රුධිරය ගලායන්නට සැලසුම් හැදූ, වීදි පුරා ලේ හැලූ පිරිස් යළිත් - යළි යළිත් බලය අත්පත් කර ගනිමින් සිටී.
කනත්තක තනි කර දැමූ සෝපාක මෙන් හඬන්නට සූදානම් නැති, තොරතුරුවලින් සන්නද්ධ පරපුරක් සමග පවා බලය ගනුදෙනු කරන්නේ පරණ තියරියෙන්ම ය. බෙදා වෙන් කොට, පාලකයාගේ නීතියෙන් ඔවුන් මර්දනය කරන්නට සූදානම් වුවද, ඔවුන් සෝපාකලා මෙන් අසරණ නැත. එහෙත් ඝාතකයන්ට ඇති බලය, එනම් ඇතුළේ සහ එළියේ හයිය ඔවුන්ට නැත. ගලවාගන්නට එන්නට බුදු හිමි නැත. නිවන් ගොස් ය.
මල්වතු - අස්ගිරි විහාරවල නායක හිමිවරුන් මැති-ඇමැතිවරුන්ට එන්නට එපා යැයි කී අවස්ථාවේ, උන්වහන්සේලා මුරුංගා අත්තේ තැබිණි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගැසූ ගැටය ගැන අවබෝධයෙන් දෝ - අනවබෝධයෙන් දෝ, පෝලිමේ ගොස් දුක කියන්නට සෝපාකලා ද සිටියහ. එහෙත් දැන් නැවතත් මුරුංගා ගහ පාමුල සිටින්නේ දේශපාලනඥයන් ය. සෝපාකලා ඈතට කොට අවසන් ය.
ජනතාවගේ පපුවේ හැමදාමත් රතු පාටින් වෙඩි වරුසා තිබිණි. මතක තබාගන්න, පපුවේ ය වෙඩි වරුසා තිබුණේ. ජන ඝාතන රැසක් මැදත්, යළි-යළිත් අවදි වන ශක්තිය එයයි. කන්‍යාවී ඇතුළතින් මිය ගොස් සිටියදීත්, කන්‍යාවියගේ ආරක්ෂාව නැති බව දැන-දැනත් සටන් ඇවිළෙයි.
හිතන්න. 2009 යුද්ධයේ අවසානයේදී කිරිබත් කන ජනතාව දෙස බලා මහින්ද රාජපක්ෂ මෙසේ කිව්වේ නම්...
'ජනතාව ලෙස ඔබේ තීරණවලට මම විරුද්ධ නෑ. ඒත් රටේ නායකයා ලෙස මට කිරිබත් කෑම උත්කර්ෂයට නංවන්න බෑ. මේ යුද්ධය තුළ කරපු සියලු වැරදි සම්බන්ධයෙන් අපි නැවත කතා කළ යුතුයි. එහි අරමුණ නැවත යුද්ධයක් ඇති නොවීමයි. ඉන්පසු අපි සියලුදෙනා එක්ව, මේ රට ගොඩනැගිය යුතුයි. මියගිය දහස් ගණන් - මරා දැමුණු දහස් ගණන් සියල්ලන් රතු ලේ ඇති තරුණයන්. ඔවුන් සියල්ලන්ට මේ රට ගොඩනැගීම වෙනුවෙන් කළ හැකිව තිබූ දේ කොපමණක්ද. අපි දැන් සිට පටන් ගමු.'
ඒ වගේම, මේ සමස්ත ව්‍යසනය ඉදිරියේ කන්‍යාවියට ගැලවී සිටිය හැකි යැයි විශ්වාස කළේ නම්...
එසේ විය නොහැකිය. කන්‍යාවිය යනු ද මේ ව්‍යසනයේ ම තවත් එක් තීරණාත්මක හරස්කඩකි. එම නිසා කසුන් පුස්සෙවෙල ලියූ, මිහිඳු ආරියරත්නගේ ගීතයට අදහසක් ඉදිරිපත් කරන්නට කැමැති ය.
ඒ, තීරණාත්මක මොහොතක කරන ලද මේ තීරණාත්මක මැදිහත්වීමට ආචාර කරන ගමන් ය.
වහාම කන්‍යාවියගේ දෑස් ලිහා දැමිය යුතුය. දූවිලි පහස නොලත්, සළු පැළඳි ඇය, මහ පාරට කැඳවාගෙන ආ යුතුය. මහ පාරේදී කළු සපත්තුවලට යටවූ සෝපාකලා මියැදෙන හැටිත්, ඝාතකයන් නිදොස් කොට නිදහස් ව මිනී මරන හැටිත් ඇය දැකගත යුතුය. ඇය සත්‍යයේ කිමිදිය යුතුය. කෝපයෙන් ඇවිලිය යුතුය. හාමතේ සිටිය යුතුය.
නිදහස් මාධ්‍යවේදී
ඇස් බැඳුනු සළු පැළඳු කන්‍යාවී..
නෑ නොමැරී... කන්‍යාවී..
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී...
නෑ නොමැරී.. කන්‍යාවී..
පිරිමි ගොඩයි ඈ තුරුලෙයි
කන්‍යාවී..
නෑ නොමැරී...
පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ... වීදි පුරා...
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්...
මහපාරේ සෝපාකලා...
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්...
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි...
නෑ නොමැරී...
කන්‍යාවී...
කලු සපත්තු... බයිනෙත්තූ...
රතු පාටින් වෙඩි වරුසා...
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්...
ඈ හිනැහෙයි...
නෑ නොමැරී...
කන්‍යාවී...
ඇස් බැඳුනු සළු පැළඳු කන්‍යාවී...
නෑ නොමැරී... දෙවඟන කන්‍යාවී...
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී...
නෑ නොමැරී...
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී...
නෑ නොමැරී...
කන්‍යාවී...
පද - කසුන් පුස්සෙවෙල
හඬ / සංගීතය - මිහිඳු ආරියරත්න
ගීතයට පිවිසෙන්න :