1200 x 80 DMirror

 
 

ගණිත ඥාණය, අභ්‍යාවකාශ විද්‍යාව, ක්‍රීඩාව, සංගීතය යන බොහෝ අංශ වලින් සියල්ල දත්තකු (pantomath) ලෙස ස්වයං විග්‍රහයක් ඇතිව සිටින්නෙකු, ළමුන්ට සිංහල භාෂාව පමණක් භාවිතා කිරීමේ වැදගත්කම ගැන මෑත වැඩසටහනකදී කරන ලද ප්‍රකාශයක් අහම්බෙන් අසන්නට ලැබුණි. 

 
භාෂා ප්‍රේමය සහ දේශ ප්‍රේමය දෝරේ ගලායන මේ ප්‍රකාශයට මගේ අවධානය යොමුවූයේ දැනට ඉතා පිළුණු වී ඇතත්, 1950 දශකයේ සිට 2019 දක්වාම වරින්වර, රස කරමින් තලු මරමින් ජනතාවට ගිල්ලවූ මෙවැනි අදහස් වලින් ඇතිවූ අනිටු ප්‍රතිඵල තවමත් අප භුක්ති විඳිමින් සිටින නිසාය. එහි අග්‍ර ඵලය ලෙස දැන් රට බංකොලොත් වීමේ අවදානමට ඉතා ආසන්නය.

ජාතික චින්තනය, ජාතිකත්වය, විජාතික පරාධීන අනුකාරක මානසිකත්වය, සාම්ප්‍රදායික ජාතික ඌරුව වැනි අරුමෝසම් වචන යොදාගත් ඇතැම් උගතුන්, විද්වතුන්, දේශපාලකයින් මෙන්ම සමහර චීවර දරා සිටින්නන්ද  (ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් නොවේ) ජනතාව, (විශේෂයෙන්ම සිංහල බෞද්ධ)  මුළාකරමින් රට පරිහානිය කරා ක්‍රමයෙන් ගෙනයන ලදී.

ඊට දායකවූ බොහොමයක් උගතුන්, විද්වතුන්, දේශපාලකයින් සිය දරුවන් සමග නිවසේදී ඉංග්‍රීසි මිස සිංහල කතා කලේද නැත. දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තිය අනුගමනය කල ඔවුහු සිය දරු කැල පිටරට යවා උසස් අධ්‍යාපනය ලබාදුන්හ.


1956 දී සම්මතවූ සිංහල පමණක් වූ පනතට පසු, ක්‍රියාත්මක වූ ස්වභාෂා ප්‍රතිපත්තිය අනුව සියලුම සිසුන් ඉගෙනීමේ මාධ්‍යය ලෙස තම මවු භාෂාව යොදාගත යුතු විය. එසේම 1961 දී ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවට ආවේණික වූ ප්‍රතිසංස්කරණයක් වන්නේ දිවයිනේ කිසිදු නව පෞද්ගලික පාසලක් ඇරඹීම තහනම් කිරීමයි. (පසු කලකදී පිහිටවූ අන්තර්ජාතික පාසැල් වලට මෙය බල පෑවේ නැත).


පංච මහා බලවේගය මූලාශ්‍ර කොට උපත ලද "සිංහල පමණයි" පනත සමගම ඇතිවූ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා, පාසැල් වල, විශේෂයෙන්ම රජයේ පාසැල් වල, ඉංග්‍රීසියට කුඩම්මාගේ සැළකිලි ලැබුණි.

1960 දශකයේ මැද භාගයේ, දේශප්‍රේමයෙන් ඔදවැඩී සිටි සිසුවියන්වූ අප, ඉංග්‍රීසි භාවිතා කරන්නවුන් හැඳින්වූයේ "කඩ්ඩන්" "කුල්ටන්" හෝ "කුල්ටූර්" ලෙසිනි. එයට ප්‍රතිවිරුද්ධ බහුතරය "හරයන්" විය.

බොහෝ විට කාල සටහනේ ඉංග්‍රීසි වලට වෙන්වූ කාල පරිච්චේද අනෙකුත් ඕනෑම වැඩක් වෙනුවෙන් මිඩංගු කිරීමට සිසුන් පසුබට වූයේද නැත. ඉංග්‍රීසි හැර අනෙකුත් සියළුම විෂයයන් සිංහල මාධ්‍යයෙන් උගැන්වූ අතර, ඒවා ඉගැන්වීමේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා සිටි ඇතැම් ගුරුවරු අපහසුතාවයකට පත්වූහ. අපට ජීව විද්‍යාව උගැන්වූ ගුරුතුමිය ස්නේහශ්‍රාවී (sebaceous) යන්න සෙනෙහසරාවී ලෙස උච්චාරණය කල අයුරු අදටත් මතකය.



 ලිඳේ හුන් ලිංමැඩියන්....

1970 දශකය මැද භාගයේදී සරසවියට ඇතුළු වන තුරු අප සිටියේ ලිඳේ හුන් ලිංමැඩියන් මෙන්, භාෂා ප්‍රේමයේ ගිලී ඉපිලෙමිනි. ස්වභාෂා ප්‍රතිපත්තිය හිස මුදුනට ගෙන ඉංග්‍රීසි භාෂාව කුණු මුල්ලටම දමා, දේශපාලකයින් කාන්දු කළ "දුන්නා සුද්දාට මදි නොකියන්න" යන ආකල්පයෙන් ස්වයංතෘප්තියේ ගිලී සිටි අපට සරසවි පුස්තකාලයට ඇතුළුවූ විට දක්නට හැකිවූයේ බෙහෙවින්ම ඉංග්‍රීසියෙන් ලියැවුණු පොත්ය. සිංහල භාෂාවෙන් ලියැවුණ පොත් තිබුණේම නැති තරම්ය.

ඒ වනවිට විද්‍යා සාමාන්‍ය උපාධිය සිංහල මාධ්‍යයෙන් කල හැකිව තිබුණි. සිංහල මාධ්‍යයෙන් එතෙක් පැවැත්වූ සරසවි අධ්‍යාපනය සාර්ථක වූයේ නම්, ඒ කාලය වනවිට එයට වඩා සිංහලෙන් ලියවුන පොත් තිබිය යුතුය. කෙටියෙන් කිවහොත් ඉංග්‍රිසියෙහි "වැදගත් කම" වැටහුනේ සරසවියට ගොස් "කඩුවෙන් දිගට හරහට කැපෙන්නට" පටන් ගත් විටය.




මෙහිදී "වැදගත් කම" ලෙස මා අදහස් කරන්නේ සමාජයේ උස් පහත් කම හෝ ඇති හැකි බව පෙන්වීමට ඇතැමුන් ඉංග්‍රීසිය යොදා ගැනීම නොව, ඉංග්‍රීසි භාෂාව දැනුම ලබා ගැනීමේ මෙවලමක් (tool) ලෙස භාවිතා කිරීම සහ සෙසු ලෝකය සමග සම්බන්ධ වීමයි.



බොහෝ සිසු සිසුවියන්ට විෂයයන් පිළිබඳව මනා නිපුණත්වයක්, දැණුමක් තිබුණත් ඉංග්‍රීසි භාවිතයේ අඩු ලුහුඬු කම් නිසා ඇතිවූ බාධක එමට විය. සරසවියෙන් පිටවූ පසු රැකියාවන් සඳහා, විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රැකියා සඳහා, සම්මුඛ පරීක්ෂණ වලදී අපමණ පසුබෑම් වලට මුහුණ දීමට අප පරපුරේ අයට සිදුවිය. ගුරු පත්වීම් හෝ ඇතැම් රජයේ රැකියා හැරෙන්නට අනෙකුත් බොහෝ ස්ථාන වල දොරටු වැසුනි.

පහසුවෙන් බලයට පත්වීම සඳහා දේශපාලනික ඇමක් ලෙස යොදාගත්, එවකට ජනප්‍රියවූ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නමැති අර්ථශුන්‍යවූ, අදූරදර්ශිවූ, උපක්‍රමය නිසා රටේ ඇතිවූ වාර්ගික අර්බුදය මෙන්ම, ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා සිදුවූ හානියද බෙහෙවින් බරපතළ යැයි මට සිතේ. බලය ලබා ගැනීමේ පටු අරමුණින් ගනුලැබූ මෙම අමනෝඥ තීරණ, ඉක්මනින් මුදුණට යාමට ඉණිමඟේ යටි පැත්තෙන් පඩි නගින්නට ගොස් බිම පෙරලී අත පය කඩා ගත්තා හා සමානය.


ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම යනු සිංහල භාෂාව නොසලකා හැරීම නොවේ. අප අනිවාර්යයෙන්ම මවුබස හොඳින් උගත යුතුය. එය අපේ උරුමයේ සහ සංස්කෘතියේ වැදගත්ම අංගයකි. නමුත් සිංහල පමණක් දැන ගැනීමෙන් අපට විශ්වීය දැණුම ලබාගත නොහැකිවා මෙන්ම, අතිශයින් තරඟකාරී වේගයෙන් දියුණුවන නවීන ලෝකය සමග ඉදිරියට යෑම මෙන්ම ගණුදෙනුද කල නොහැක. මෙය හොඳින් වටහා නොගැනීමෙන් අපට සිදුව ඇත්තේ මුහුණත් එක්ක තරහට නහය කපා ගැනීම වැන්නකි.


manmohan singhහිටපු ඉන්දීය අගමැති මන් මෝහන් සිං


මේ කරුණ මැනවින් තේරුම්ගත්, අකාලයේ වියෝවූ මංගල සමරවීරයන් මුළු රටටම එය වටහා දෙන්නට අපමණ උත්සාහයක් දැරුවත්, දේශයේ අභාග්‍යයට රටේ බහුතරයක් ජාති අන්ධයන්වූ බැවින් එය සඵල නොවීය. එහි ප්‍රතිඵල මේ වනවිට මුළු රටම අත්විඳිමින් සිටියි.

හිටපු ඉන්දීය අගමැති මන් මෝහන් සිං ඔක්ස්ෆර්ඩ් සරසවියේදී (2005) ඔහුගේ ගෞරවනීය උපාධිය (Honorary Degree) ලබා ගැනීමේ පිළිගැනීමේ කථාවේදී  මෙසේ පැවසීය.

"යටත් විජිතයෙන් ලද සියළු උරුමයන් අතුරින්, ඉංග්‍රීසි භාෂාව සහ නවීන පාසැල් පද්ධතියට වඩා වැදගත් කිසිවක් නැත. ඇත්ත වශයෙන්ම, මෙහි සිටින අය අප කතා කරන භාෂාව හඳුනා නොගනු ඇත, නමුත් එය ඉංග්‍රීසි බව මම ඔබට සහතික කරමි. ඉංග්‍රීසි ස්වදේශීකරණයේදී, ලොව පුරා බොහෝ ජාතීන් තුළ බොහෝ මිනිසුන් කර ඇති පරිදි, අපි ඉංග්‍රීසි භාෂාව අපේම කර ගත්තෙමු. අපගේ නිපාත තේරීම සැමවිටම රැජිණගේ ඉංග්‍රීසි නොවිය හැක; කෙසේ වෙතත්, ඉන්දියානු නිර්මාණශීලීත්වයෙන් ඉංග්‍රීසියද පොහොසත් වී ඇති බවට සියලු දෙනා එකඟ වනු ඇතැයි මා විශ්වාස කරන අතර, අප ඔබට ආර්. කේ. නාරායන් සහ සල්මන් රෂ්ඩි ආපසු ලබා දී ඇත. අද ඉන්දියාවේ ඉංග්‍රීසි භාෂාව තවත් ඉන්දියානු භාෂාවක් ලෙස සලකනු ලැබේ.

("Of all the legacies of the Raj, none is more important than the English language and the modern school system. Of course, people here may not recognize the language we speak, but let me assure you that it is English. In indigenizing English, as so many people have done in so many nations across the world, we have made the language our own. Our choice of prepositions may not always be the Queen’s English; I am sure everyone will agree, nevertheless, that English has been enriched by Indian creativity as well and we have given you back R.K. Narayan and Salman Rushdie. Today, English in India is seen as just another Indian language")



ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුවත් ඉංග්‍රීසි භාෂාවෙන් නිදහස් වූයේ නැත. ඉන්දියානු පාලකයින් හේන මුවන් කෑ නිසා ගෙදර තිබූ මුව හමට තඩි බෑවේ නැත. ඉංග්‍රීසි භාෂාව හරහා ලෝකය සමග සම්බන්ධ වූ ඔවුහු ව්‍යාපාරික, කර්මාන්ත  ලෝකයේ මෙන්ම විද්‍යාත්මක, තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන වැනි ක්‍ෂේත්‍ර වලද ගව් ගණනක් ඉදිරියට ගියහ.

 


බොහෝ පසු පසින් සිටි රටවල් වේගයෙන් දියුණුව කරා යද්දී, අප සිදු කොට ඇත්තේ පැරණි ශ්‍රී විභූතිය ගැන උදම් අනමින්, වංසේ කබල් ගාමින් සිටීමය.

තානාපති කාර්යාල ඉදිරිපිට උපවාස සංදර්ශන පැවැත්වීමෙන් හෝ ගිරිය පුප්පාගෙන ආවේසවූ බහිරවයින් මෙන් මරහඬ තැලීමෙන් අප දියුණුව කරා ගොස් නැත.

 අප අත්පත් කරගෙන ඇත්තේ රටට දරා ගත නොහැකි ණය කන්දරාවකුත්, රටේ ධනය සූරා කෑ මගෝඩියන් රැළකුත්, මැද පෙරදිග දුක් විඳින ගැහැණුන් පිරිසකුත්, කොරියාවේ කර්මාන්ත ශාලා වල මළකඩ සූරන පිරිමි ළමුන් සහ තාරුණ්‍යය සොච්චම් පඩියකට ඇඟලුම් කම්හල් වලට දියකර හරින ගැහැණු ළමුන් පිරිසකුත් නොවේද?


imageකාන්ති කාරියවසම්
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



 

ලේඛිකාව ගේ වෙනත් ලිපි :

 

 

 

 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

අගමැති හදිසියේම තිරුපති ගියේ ඇයි ? | The Leader TV | Gossipa

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58