1200 x 80 DMirror
 
 

(දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)



මංගල සිය ජීවන චාරිකාව නිමා කොට තිබේ. ඒ අතරේ ජීවත්ව සිටි මංගලට වඩා මිය ගිය මංගල පිළිබඳව කතාබහ බොහෝ සෙයින් සැරසරමින් තිබේ.

මංගලගේ ඇසුර සහ මංගල පිළිබඳව මා තුළ ඇති මතකය ආරම්භ වෙන්නේ මීට වසර 30ට පමණ පෙර සිටය. දකුණේ තරුණ කැරැල්ල අවසන්ව, නමුත් පශ්චාත් භීෂණයේ අන්තිම අළු සහ පුලිඟු විසිරෙමින් තිබූ අවදියකය. 1991 වසරේ ඒ වනවිට මා සිටියේ සරසවියේ පළමු වසරේ නීති ශිෂ්‍යයෙකු ලෙසය.

ඒ අවදියේ සරසවියේ නීති පීඨයේ ප්‍රධාන ශිෂ්‍ය සංගම් දෙකටම තිබුණේ ලේ වැකුණු මතකයන් ය. ඒ නිසා මේ දෙකෙන්ම පරිබාහිර ශිෂ්‍ය සංවිධානයක් ගොඩනැගීමේ අපේක්ෂාව අප තුළ විය.

ඒ අනුව නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය නමින් නව සංවිධානයක් බිහි කිරීමට අප කටයුතු කළෙමු. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ මට වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වූ හිතවත් දිලිත් ජයවීරත්, දයාසිරි ජයසේකරත් මමත් තව කිහිප දෙනෙකුත් ය.

රෑ දෙගොඩ හරිය වනතුරු ඒ කටයුත්ත වෙනුවෙන් වෙහෙසෙමින්, සහෝදර සිසුන්ට “තෙල බෙදමින්” අලුත් ශිෂ්‍ය සංවිධානය ගොඩනැගීමට අප බොහෝ සෙයින් වෙහෙසමින් සිටියෙමු.

දිලිත් තමා සතු යතුරුපැදිය මේ ගමන් බිමන් සඳහා යොදා ගත් අතර, රැස්වීම් අවසන් වූ විට දිලිත් කළේ මාව ඔහුගේ යතුරුපැදියේ දමාගෙනවිත්, පුංචි බොරැල්ලේ මා නැවතී සිටි නවාතැනට දමා අනතුරුව ඔහුගේ නවාතැනට යන එකය.

එක්තරා රාත්‍රියක ඔහුගේ යතුරුපැදියේ කාර්මික දෝෂයක් තිබූ නිසා ඔහු කළේ යතුරුපැදිය මගේ නවාතැනේ දමා පයින්ම සිය බෝඩිමට යාමට පිටත් වීමය.
එහෙම යන අතරතුරදී මහ රෑ කළුබෝවිල ප්‍රදේශයේදී  දිලිත්ව පැහැර ගැනීමකට ලක් විය.

මේ සිදුවීමෙන් අප සියලු දෙනා බලවත් කම්පනයකට ලක් වූ අතර මුළු විශ්විද්‍යාලයත්, අනෙක් විශ්වවිද්‍යාලවලටත් ඉන් ඔබ්බෙන් රට පුරාත් මේ සිදුවීම මහත් කැළඹීමකට හේතුවිය.

 

පැහැරගෙන යනු ලැබූ දිලිත් ව සොයා ගැනීමට අපි ගත හැකි ක්‍රියාමාර්ග කල්පනා කරමින් දස අතේ වෙහෙසෙන අතරේ එවකට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වූ එස්.බී දිසානායක සහ මංගල සමරවීර දෙපල රාත්‍රියේ සරසවියට පැමිණියහ. දිලිත්ගේ පැහැර ගැනීමේ සිදුවීම ඔවුහු ජාතික තලයේ සිදුවීමක් බවට පෙරලා ගත්හ. ඔහු සොයා ගැනීමේ අරගලය වඩාත් තිව්‍ර මුහුණුවරක් ගත්තේ ඉන් පසුවය. ප්‍රතිඵලය වුණේ පැහැර ගත් දිලිත්ව දින කිහිපයකට පසු පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබීමය.

 

මේ සිදුවීමෙන් පසුව දිලිත් දේශපාලනය කටයුතු වලින් මඳක් ඈත් විය. නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය පෙරට ගෙන යාමේ වගකීම මා ඇතුලු කිහිප දෙනෙකුට පැවරුන අතර පසුව මා ශිෂ්‍ය සංගමයේ  සභාපති බවට පත් විය.

ඉන් අනතුරුව අපට මංගල හමුවන්නේ 94 දේශපාලන පෙරළියෙන් පසුව ය.

95 වන විට මා, කරු පරණවිතාන, දයාසිරි ජයසේකර ඇතුලු පිරිසකට ඇමැති ජී.එල් පීරිස් මහතා ආරාධනා කළේ සිය අමාත්‍යාංශයට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලෙසට ය. ඇත්තෙන්ම ජී.එල් පීරිස් මහතා සහ අප අතර සරසවියේදී තිබුණේ දැඩි මතවාදී අරගලයකි. එහෙත් ඔහු සිය අමාත්‍යාංශයේ කටයුතු සඳහා අපට ආරාධනා කළේ ඒ සියල්ල අමතක කරමින් ය. අපටත් අවශ්‍යව තිබුණේ ජාතික ගැටලුවට ව්‍යවස්ථාමය විසඳුමක් ලබා දීම උදෙසා වූ ආණ්ඩුවේ නව ප්‍රවේශයට අපගේද සහය ලබා දීමට ය.

ඒ වන විටත් නව ජනවරම ප්‍රකාරව ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විවිධ ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙමින් සිටි අවදියක් විය.

ඇත්තෙන්ම එම ආණ්ඩුවේ බලවත් අමාත්‍ය ධූරයක් ජී.එල් පීරිස් මහතා විසින් දැරූ අතර, බොහෝ විට ජනවාර්ගික ගැටලූවට විසඳුම් සෙවීම සඳහා වූ විවිධ වැඩසටහන් සංවිධානය වුණේ ඔහුගේ අමාත්‍යාංශය හරහා ය.

තවලම, සුදු නෙළුම් ව්‍යාපාරය, පොතයි ගඩොලයි ව්‍යාපාරය ඇතුළු කටයුතු ආරම්භ වෙන්නේ ඒ අවධියේදී ය. ඒ සියල්ලටම සක්‍රීයව දායක වීමේ අවස්ථාව මට ද උදා විය.

fsgdf

සුදු නෙලුම් ව්‍යාපාරයේ කැදවුම්කාර මණ්ඩලය ඇමැති මංගල සමරවීර මූලික කරගත් ඩිලාන් පෙරේරා, බර්ටි ප්‍රේමලාල් වැන්නන්ගෙන් යුක්ත විය. සුදු නෙළුම් ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා ලෙස මා අනුයුක්ත කරනු ලැබීය.

සත්තකින්ම මංගල එම කටයුතුවල සක්‍රීය පුරෝගාමියා විය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ග්‍රාමෝදය මණ්ඩල ගොඩනැගිල්ලෙහි සුදු නෙළුම් ව්‍යාපාර කාර්යාලය පවත්වාගෙන ගිය අතර එම කටයුතු වල දී මංගලත් මාත් නිරන්තරයෙන් හමු වුනෙමු.

ඇත්තම සුදු නෙළුම් ව්‍යාපාරය ජනවාර්ගික අර්බුදය අරභයා රාජ්‍ය යාන්ත්‍රණයේ ද අනුග්‍රහය ඇතිව බිහි කෙරුණු තීරණාත්මක සංවිධානය විය. ඊට පරිබාහිරව බිහි වූ බොහෝ සංවිධාන සහ ව්‍යාපාර ඇත්තෙන්ම සුදු නෙලුම් ව්‍යාපාරයට පසුව බිහිවුණු ඒවාය.

ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් අවශ්‍ය බවට බලවත් බරක් තැබූ කතිකාවතක් ආරම්භ වන්නේ සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ය. ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් හුදකලා අදහස් උදහස් තැන තැන කියවුණ ද, සුදු නෙළුම් ව්‍යාපාරය සංවිධානාත්මකව ඒ මතය සමාජගත කළ ප්‍රමුඛ ව්‍යාපාරය විය.


එම කටයුත්ත මංගල මහත් උද්යෝගයෙන් යුතුව සිදු කළේය.
 
 
“බලය බෙදාහරීමේ යෝජනාවලිය පවා” කරළියට එන්නේ ඉන් අනතුරුව ය. ජාතීන් අතර සංහිඳියාව, බලය බෙදා හැරීම වැනි සංකල්ප සම්බන්ධයෙන් නොබියව පෙනී සිටීම පිළිබඳව මංගල අපට පූර්වාදර්ශ සැපයීය.
 
 
2007 මංගල, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව “ම” පාර්ශවය ගොඩනඟන අතර මා ඇතුලු කිහිපදෙනෙක්ම සිටියේ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි විරෝධයක ය.

එබැවින් අපි නතර වුනේ, වසර ගානක් තිස්සේ අප දන්නා හඳුනන මංගල අසලය. මාත්, ටිරාන් අලසුත්, උපුලාංගනී මාලගමුවත් මංගලගේ “ම” පාර්ශ්වය සමග එක්වුණෙමු. එම කාර්යයේදි රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ භූමිකාව කිසිවිටෙකත් අමතක කළ නොහැක.

ඒ වන විට පස මිතුරන්ව සිටි මංගල සහ රාවුෆ් හකීම් දෙදෙනා නැවත එක කඳවුරකට ගැනීම සඳහා මංගල වෙනුවෙන් මාත් හකීම් වෙනුවෙන් නීතිඥ අමීර් ෆායිස් විසින් කරන ලද උත්සාහය හකීම් ඇමතිතුමාගේ නිවසේදී කළ සාකච්ඡාවකින් පසු සාර්ථක විය.

ඔය අතර හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් මා විසින් දැමූ නඩුවක් සහ 17වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා එවකට ජනාධිපතිවරයාට එරෙහිව දැමූ නඩුව මෙන්ම ශිරාල් ලක්තිලක, මා ඇතුලු කිහිපදෙනෙක් විසින් ක්‍රියාත්මක කළ මහා පරිමාණ දූෂණ හෙළිදරව් කිරීමේ “දූෂණ විමසුම” වැඩසටහන  හේතුකොටගෙන  මා වෙත ජීවිත තර්ජන එල්ල වෙන්නට පටන් ගත් හෙයින්  ජීවිත ආරක්ෂව පතා මා හට විදෙස්ගත වීමට සිදුවිය.

කෙටි කලකට පසු පෙරළා ලංකාවට පැමිණි මා, කරු ජයසූරිය මහතා හමුවීමි. ඒ වනවිටත් මංගල ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂය සමග ඍජුව සම්බන්ධ වී සිටියහ.

ඒ අතර මම එක්සත් ජාතික පක්ෂය හොරණ සංවිධායකවරයා වීමි.

එජාප නායකත්ව අරගලය තීරණාත්මක අඩියකට පැමිණියේ මේ වකවානුවේ වන අතර මංගල සහ මා කඳවුරු දෙකකට වෙන් විය. එහිදී සිරිකොතට පහර දුන් බවට වූ චෝදනාවට ලක්කොට මාව පක්ෂයෙන් ඉවත් කරනු ලැබීය. මංගල එජාපය සමග දිගටම කටයුතු කළේය.

පසුව මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛත්වය ගත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අප විසින් ගොඩ නැගූ අතර එහි කටයුතු ඉදිරියට ගියේය. එම ව්‍යාපාරය සහ එජාප ය අතර කරන ලද සාකච්ඡා සහ වැඩකටයුතු වලදී යළිත් මංගල සමහ වැඩ කිරීමට මට හැකි විය.

එතැන් සිට බොහෝ දේ සිදුවුණු අතර 2015 තීරණාත්මක ජනාධිපතිවරණය වන විට විසිරී තිබූ බොහෝ කඳවුරු එකට එක් කිරීමේ මෙහෙයුම මංගලට බාර වී තිබුණි. ඒ විවිධ අවස්ථාවලදී ද අපට මංගල සමග එකට එකතුව වැඩ කරන්නට අවස්ථාව ලැබුණි.


“සංහිඳියාවේ නාලිකාව”


යහපාලන ආණ්ඩුව සමයේ මා විවිධ ආයතනවල විවිධ තනතුරු දැරූ අතර විශේෂයෙන්ම රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ව වැඩ කටයුතු කරන අවධියේ දී පළමු “සංහිඳියාවේ නාලිකාව” ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කිරීමට හැකි විය. ඇත්තෙන්ම එය මංගලගේ ද සිහිනයක් විය.

2019 ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ කමිටුවෙහි කටයුතු කළ මට මංගල සමග සමීපව කටයුතු කිරීමට හැකි විය. මංගල එහිදී අතිශය පරිණත ලෙස කටයුතු කළේය.

අනතුරුව සමගි ජනබලවේගය බිහි කිරීමේ කටයුතුවලට ඔහු දායක වූ අයුරුද මට මතකය.
 
 
මංගල අපූරු මිනිසෙකි. තමන් විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් ඔහු කුමන අවාසි තත්ත්වයක් තුළ වුව ද නොසැලී පෙනී සිටියේය. ඒ වෙනුවෙන් ඔහු අරගල කළේය. ජාතිවාදය, ආගම්වාදය පමණක් නොව ඔහු සුළු ජාතීන් ලෙසවත් ජනවර්ග වෙන් කරනවාට එකඟ නොවීය. එදා මෙදාතුර මංගල මොන දේශපාලන කඳවුර නියෝජනය කළත් එකී ප්‍රතිපත්තිය ඔහු රැකගත්තේය. ඔහු විරල මිනිසෙක් වන්නේත්, ඔහු යුගකාරක චරිතයක් වන්නේත් ඒ මහාර්ඝ ලක්ෂණය නිසාය.
 
 
මංගල පිළිබඳව මා තුළ ඇත්තේ වෛවර්ණ චිත්‍රයකි. එහි බොහෝ පාටවලට මා කැමතිය. ඇතැම් විට ඒ බව මංගල දැන සිටියාද කියා නම් මා දන්නේ නැත.
කෙසේ වුව, මංගල යනු යුගයකි. ඒ යුගය මංගලගේ ය.


රවි ජයවර්ධන වෘත්තීය පුහුණුවට

(නීතිඥ රවී ජයවර්ධන)
ජාතික රුපවාහිනියේ හිටපු සභාපති


(උපුටා ගැනීම - සමබිම පුවත් පතින් ...)





Mathaka Mangala 2021.11.18 1
 1- ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති ! | The Leader TV
 
 
2- මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58