අරගලය අපට ලබා දුන් පණිවිඩය කුමක්ද? සීමිත අරුතින් ගත් කල එම පණිවිඩය වන්නේ රාජපක්ෂ පාලනාධිකාරය කෙරෙහි ඇති ජනතා විශ්වාසය

බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි. එබැවින් මේ මොහොතේ සැබෑ ජනමතය නියෝජනය කෙරෙන නව ආණ්ඩුවක් තෝරා පත් කර ගත යුතුව ඇති බවයි.

බොහෝ විට සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට සම්බන්ධ බොහොමයක් බුද්ධිමතුන් අරගලයේ පණිවිඩය අර්ථකථනය කරනු ලබන්නේ මෙම සීමිත අරුතිනි. එබැවින් ඔවුන් අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙන යාම සඳහා යෝජනා කරන විසඳුම වන්නේ ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමයි.

 

නමුත් අරගලයේ පණිවිඩය සහ එහි අපේක්ෂාවන් පිළිබඳ වඩා පුළුල් සහ ගැඹුරු අර්ථකථනයක්ද දැන් මතුව තිබේ. එනම් අරගලය විසින් මෙරට 'සැබවින්ම පවතින නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ' සීමාවන් විචාරයට ලක් කොට ජනතාවගේ සෘජු දේශපාලන මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරන ලද බවයි.

 

එම පුළුල් හා ගැඹුරු අර්ථකථනයට අනුව මැතිවරණයක් මගින් ආණ්ඩු බලය මාරු කිරීමෙන් පමණක් මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත. එබැවින් වසර පහකට වරක් ජන්දය ප්‍රකාශ කොට ඉන්පසුව නිහඬ නිෂ්ක්‍රීය ප්‍රේක්ෂකයෙකුගේ භූමිකාවට පණ පොවන ජන්දදායකයෙකු වෙනුවට පොදු ජීවිතයේ ගැටළු කෙරෙහි නිරන්තරව මැදිහත් වන සක්‍රීය ජනතාවක් වුවමනා වී තිබේය යන්න මෙම දෙවන අර්ථකථනය තුළින් පැන නගින අවධාරණය යි.

 

"දියවන්නාවෙන් එපිට ජනතා බලයක්", "මහජන කවුන්සිල ගොඩ නැගීමක්", "නව ජනරජයක්", "සංවිචාරණීය සමාජයක්" වැනි උද්දෘත මගින් කියැවෙන්නේ එයයි. සැබවින්ම දැන් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ වඩා සංකීර්ණ ගැටළු ආමන්ත්‍රණය කෙරෙන බුද්ධිමය සංවාදයක් නිර්මාණය වෙමින් තිබෙන්නේ අරගලය පිළිබඳ මෙම දෙවන අර්ථකථනය කේන්ද්‍ර කොටගෙනය.

 


මෙම ලිපියේ අරමුණ වන්නේ මැතිවරණ දේශපාලනයේ සීමිත රාමුව ඉක්මවා ගොස් හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක් දිනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නා වූ එම බුද්ධිමය සංවාදයට කිසියම් දායකත්වයක් සැපයීමයි.


නිර්-ප්‍රජාතාන්ත්‍රික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීම


මෙරට දැනට ක්‍රියාත්මක වන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිත ගැටළු කිසිවෙකුට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැත. එක් අතකින් ආසියානු සහ අප්‍රිකානු ලෝකයේ පැරණිතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාව තුළ නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම නෛතික සහ ආයතනික අංගයක්ම පාහේ පවතී.

අනෙක් අතින්, නිදහසින් පසු ඉතිහාසය තුළ කිහිප වරක්ම කල් පවතින සිවිල් යුද තත්ත්වයක් නිර්මාණය කරන්නට පවා හේතු වූ තරමේ බරපතල සමාජ ආර්ථික සහ දේශපාලන පීඩනයන්, බැහැර කිරීම් සහ ගැටුම්ද ලාංකීය සමාජ සැකසුම තුළ නිරීක්ෂණය කළ හැකි අතර ඒවා පැන නැගී ඇත්තේ නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුවට පිටතින් නොව එහි ඇතුළතිනි.

නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුව තුළින්ම පැන නැගී එම රාමුව අභියෝගයට ලක් කරන්නා වූ එකී නිර්-ප්‍රජාතාන්ත්‍රික අංගයන් අප සමාජයේ දෛනික ජීවිතයේ අත්දැකීම් බවටද පත්ව තිබේ.

 

ඒ අනුව ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ උභතෝකෝටිකය වන්නේ එක් අතකින් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වයත් අනෙක් අතින් සමාජයීය තලයේ නිර්-ප්‍රජාතාන්ත්‍රිකරණයේ ප්‍රවාහයනුත් එකවර පවතින්නේ කෙසේද යන්නයි.

 

මේ උභතෝකෝටිකය පිළිබඳව ලාංකීය දේශපාලන විද්‍යා සාහිත්‍ය තුළ ඇති තරම් දේ ලියැවී තිබේ.

එබැවින් මගේ ප්‍රයත්නය වන්නේ මේ ගැටළුවට අදාළව මෙතෙක් එතරම් සාකච්ජාවට ලක්ව නොමැති කාරණයක් ගැන අවධානය යොමු කිරීමය. එනම්, මෙරට ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජයීය නිර්-ප්‍රජාතාන්ත්‍රිකකරණයත් සමාන්තරව පවතිනවා පමණක් නොව පළමුවැන්න විසින් දෙවැන්න පුනර්-ක්‍රියාත්මක වීමටද ලක් වන්නේය යන්නයි.

 

මේ කාරණය පැහැදිලි කිරීම පිණිස ආචාර්ය නිව්ටන් ගුණසිංහ දේශපාලන ආර්ථිකය විෂය ක්ෂේත්‍රයට අදාළව ඉදිරිපත් කළ ප්‍රවාදයක් දේශපාලන විද්‍යාවට අදාළව යොදා ගන්නට මම බලාපොරොත්තු වෙමි.

 

indexආචාර්ය නිව්ටන් ගුණසිංහනිව්ටන් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය තුළ ඉදිරිපත් කළ මූලික ප්‍රවාදය වන්නේ ලංකාව වැනි පරිවාර ධනවාදී සැකසුම් තුළ වැඩවසම් නොහොත් පූර්ව-ධනවාදී සබඳතා මුළුමනින්ම අහෝසි වී යනවා වෙනුවට ඇතැම්විට ඒවා නව ආකාරයකින් නැවත ක්‍රියාකාරී වන්නේය යන්නයි.

 

නිදසුනක් ලෙස, මුලින් බ්‍රිතාන්‍ය පාලකයින් විසින් අහෝසි කර දමනු ලැබූ වැඩවසම් ශ්‍රම මාදිලියක් වූ රාජකාරී ක්‍රමය පසුව යටත්විජිත ආණ්ඩුවේම අවශ්‍යතා සඳහා නැවත යොදා ගනු ලැබීම ගැන නිව්ටන් කතා කරයි. මෙය ඔහු හඳුන්වන්නේ 'පෞරාණික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමක්' (reactivation of archaic relations) ලෙසයි.

මෙහිදී කලින් එම පෞරාණික සම්බන්ධය පැවතුණේ පූර්ව-ධනවාදී ව්‍යුහයක් තුළ නම්, දැන් එය පුනර්-ක්‍රියාත්මක වන්නේ පරිවාර ධනවාදී ව්‍යුහයක් තුළය. මෙම පුනර්-ක්‍රියාත්මක වීමේ ප්‍රතිපලය වන්නේ බොහෝ දුරට අහෝසි වී යාමට ඉඩ තිබූ පෞරාණික සබඳතා මාදිලියක් නව ස්වරූපයකින් පැවතීම මිස අන් කිසිවක් නොවේ. 

 

නිව්ටන්ගේ ප්‍රවාදය සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු තවත් කාරණයක් නම් පුනර්-ක්‍රියාත්මක වීම යනු කිසියම් තත්ත්වයක් නොව ක්‍රියාවලියක් බවයි. එබැවින් එයින් පැහැදිලි කෙරෙන්නේ හුදෙක් එකතැන නතර වී පවතින සබඳතා ව්‍යුහයක් නොව ගතික ක්‍රියා සන්තතියකි.

 


මේ ප්‍රවාදය ඇසුරු කරමින් ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අදාළව මා අසන්නට කැමති ප්‍රශ්නය මෙයයි; මෙරටට නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික මොඩලය හඳුන්වා දීමෙන් පසුව දේශපාලනික අවකාශය තුළ සිදුව ඇත්තේද ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ පූර්ව-ප්‍රජාතාන්ත්‍රික නොහොත් නිර්-ප්‍රජාතාන්ත්‍රික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමක් නොවේද?


ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්හරණයේ ඉතිහාසය


ගතානුගතික කුළ සබඳතා නිදසුනක් ලෙස ගන්න. පශ්චාත් යටත් විජිත යුගයේ සංකීර්ණ සමාජ ආර්ථික පරිවර්තනවල බලපෑම හමුවේ යටපත් වී යාමට ඉඩ තිබූ කුළ සබඳතා පුනර්-ක්‍රියාත්මක කිරීමට මැතිවරණ දේශපාලනය කොතරම් දායක වී තිබේද? වත්මන් යුගයේ කුළය බොහෝ විට වැදගත් වන්නේ විවාහයේදී හැරුණු කොට මැතිවරණවලදීය.

විවාහය සහ විෂමලිංගික පීතෘමූලික පවුල ධනවාදයේ ප්‍රබලතම දෘෂ්ටිවාදී උපකරණය ලෙස සැලකිය හැකිය.

එබැවින්, පරිවාර ධනවාදය තුළ පෞරාණික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ ප්‍රධාන මාධ්‍යයක් බවට පවුල පත්වීම පුදුමයට කරුණක් නොවේ.

 නමුත්, ප්‍රජාතාන්ත්‍රික නවීකරණයේ මාධ්‍යයක් ලෙසින් සලකනු ලබන මැතිවරණ ක්‍රියාවලිය, පෙරළා කුළ සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයක් බවට පත් වීම සරදම්ජනක නොවේද?

 

ලාංකීය සංධර්භය තුළ මැතිවරණ දේශපාලනය ඔස්සේ ගතානුගතික ජනවාර්ගික සහ ආගමික සබඳතා පුනර්-ක්‍රියාත්මක වීමේ ඉතිහාසය ඉතාම ප්‍රචලිතය. විශේෂයෙන්ම 1950 දශකයේ මැදභාගයෙන් පසුව මෙරට ජනවාර්ගික සහ ආගමික අනන්‍යතා දේශපාලනිකව පෙළ ගැස්වීමේ, සංවිධානය කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධාන මාධ්‍යයක් වූයේ මැතිවරණ දේශපාලනයයි.

 

1948 පුරවැසි පණතද, 1956 'සිංහල පමණක්' පනතද, බෞද්ධාගමට රාජ්‍යයේ ප්‍රමුඛත්වය ලබා දුන් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, 1979 ත්‍රස්ත විරෝධී පණතද ඇතුළු ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ සීමා මායිම් නියම කළා වූ සියළුම නීතීන් සම්මත කරනු ලැබ ඇත්තේ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ විධි විධානවලට අනුකූලවය.

මෙයට එකතු කළ යුතු කාරණයක් නම් මැතිවරණ තරඟය අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයක් ඔස්සේ සංවිධානය වීමේ ලාංකීය අත්දැකීමද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණය තුළින්ම නිර්-ප්‍රජාතාන්ත්‍රික ගතිකත්වයන් පැන නැගීම පිළිබඳ තවත් අනර්ඝ නිදසුනක් බවයි.        


මැතිවරණ දේශපාලනයේ ඉන්ද්‍රජාලික පඩිපෙළ


මේ අනුව, ලාංකීය මැතිවරණ දේශපාලනයේ ඉතිහාසය යනු ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණය වීමේ ඉතිහාසයක් ලෙස අර්ථකථනය කිරීම සාධාරණය. මෙම රැඩිකල්හරණයේ දේශපාලනය මගින් ප්‍රතිස්ථාපනය වන්නේ පන්තිමය, ජනවාර්ගිකමය, සමාජ ලිංගිකමය බලාධිකාරය බව අමුතුවෙන් කිව යුතු නැත.

එලෙස සංස්ථාපිතයේ බලයම ප්‍රතිස්ථාපනය වීම වනාහී වරක් සිදු වී නතර වන්නක් නොව දිගින් දිගටම ක්‍රියා සන්තතියක් ලෙස සිදුවෙමින් පවතින්නකි.

 

මෙම රැඩිකල්හරණයේ ක්‍රියා සන්තතිය තුළ බරපතලම අභියෝගයකට ලක් වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම අරමුණු කොටගෙන දේශපාලනයේ නිරත වන වාමාංශික පක්ෂ හා කණ්ඩායම්ය.

 

ලාංකීය අත්දැකීම වන්නේ සමාජ වෙනසක් අරමුණු කොටගෙන දේශපාලනයේ නිරත වූ බොහෝ වාමාංශික පක්ෂ හා සංවිධානවලට මැතිවරණ මගින් රාජ්‍ය බලය දිනා ගැනීම සඳහා තම මූලධාර්මික අරමුණු සම්මුතිගත කරන්නට සිදු වූ බවය.

මේ සඳහා නිදසුන් එමට ඇත. වඩා ප්‍රචලිත නිදසුන වන්නේ ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය 1960 දශකයේ මැදභාගයේදී එකල ශ්‍රී.ල.නි.පය විසින් නියෝජනය කරන ලද සිංහල බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වීමයි.

මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක් වන්නේ පරමාදර්ශ සම්මුතිගත කිරීම යන්නෙන් අදහස් වන්නේ සංස්ථාපිතය නියෝජනය කරන පක්ෂ සමග සන්ධාන ගැසීම හෝ විවිධ ගැටළු මුල් කොටගෙන එක් වේදිකාවකට නැගීම නොවන බවය.


kumari jaywardhaneකුමාරි ජයවර්ධන පෙන්වා දෙන පරිදි ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ සම්මුතිවාදී දේශපාලනයේ බරපතලම ගැටළුව වූයේ ඔවුන් නිදහස් පක්ෂය සමග සභාගයකට ඇතුල් වීම නොව ඊටත් පෙරම මැතිවරණ දේශපාලනයේ පෙළඹවීම්වලට ලක්ව සිංහල බෞද්ධ ජාතිකවාදය සමග සම්මුතිගත වීමය.


වාමාංශික ව්‍යාපාර මෙසේ ස්වකීය ප්‍රාරම්භක දේශපාලන පරමාදර්ශ සම්මුතිගත කරනු ලබන්නේ මැතිවරණ දේශපාලනය මාධ්‍යය කොටගෙන පමණක් යැයි මෙයින් අදහස් වන්නේද නැත. නමුත්, ලාංකීය නූතන දේශපාලන ඉතිහාසය තුළ සම්මුතිවාදයේ ප්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ මැතිවරණ දේශපාලනයයි.

මන්දයත්, මා කලින්ද තර්ක කළ පරිදි මෙරට මැතිවරණ දේශපාලනය හැඩ ගැසී ඇත්තේම ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්හරණයට ලක් වීමේ අභ්‍යන්තර තර්කනයකට අනුවය.

 

එවිට මැතිවරණ මගින් රාජ්‍ය බලය දිනා ගැනීම තම ප්‍රධානතම උපායමාර්ගය බවට පත් කරගන්නා වාමාංශික පක්ෂයකට සිදු වන්නේ කුමක්ද? ඉතිහාසය සාක්ෂි දරන පරිදි එවන් පක්ෂයකට තම මැතිවරණ උපායමාර්ගයට සමගාමීව 'සමාජය වෙනස් කිරීමේ' දේශපාලන ව්‍යාපෘතියක් නොතිබුණහොත් සිදු වනු ඇත්තේ ඔවුන්ගේ මැතිවරණ භාවිතය වඩා බලවත් වී එමගින් ඔවුන්වම ක්‍රමානුකුල පරිවර්තනයකට ලක් වීමය.

 

මා මෙරට මැතිවරණ දේශපාලනය ඉන්ද්‍රජාලික පඩිපෙළකට සමාන කරන්නේ එබැවිනි. එම ඉන්ද්‍රජාලික පඩිපෙළෙහි පහළම අඩියේ සිට ඔබට ක්‍රමානුකූලව ඉහළට නැගිය හැකිය. නමුත්, නගින සෑම පඩියක් පාසාම එම පඩිය වෙනස් කිරීමේ ප්‍රති-හෙජමොනික භාවිතයක්ද ඔබ සතු විය යුතුය.

නොඑසේනම්, එම පඩිය විසින් ඔබවම පරිවර්තනයට ලක් කරනු ඇති අතර, ඔබ ඉහළම පඩියට නගින විට ඔබටම නොදැනී ඔබ සංස්ථාපිතයේ නියෝජිතයෙකු බවට පරිවර්තනය වී සිටිනු ඇත්තේ ජෝජ් ඕවල්ගේ 'Animal Farm' (මෙය 'ගොවිපළේ පෙරළිය' නමින් සිංහලට නැගී ඇත) නවකතාව සිහිගන්වමිනි.                


සමාජය වෙනස් කිරීමේ දේශපාලනයක් වෙත


මෙයින් අදහස් වන්නේ සංස්ථාපිතයට එරෙහි වන්නන් මැතිවරණ ප්‍රතික්ෂේප කළ යුතු බව නොවේ.

රාජ්‍ය බලය ප්‍රතික්ෂේප කරන ප්‍රති-හෙජමොනික දේශපාලනයක් ගැන කතා කිරීමෙන් පලක් නැත.

රාජ්‍ය පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ක්ෂේත්‍රය මුළුමනින්ම සංස්ථාපිතයේ නියෝජිතයින්ට පවරා තමන්ව හුදෙක් බලපෑම් කණ්ඩායමක් බවට පරිවර්තනය කරගන්නා දේශපාලනයක් යනු අවසාන වශයෙන් සංස්ථාපිතයේ අඛණ්ඩ පැවැත්මට වක්‍රව සහාය දක්වන දේශපාලනයකි. (නිර්ප්‍රභූ අධ්‍යයන ඇතුළු විවිධ ධාරාවල පශ්චාත්-යටත් විජිත න්‍යායික ධාරාවල ගැටළුව වන්නේ මෙයයි).

 

එසේම සන්නද්ධ අරගල උපායමාර්ගයක් මගින් රාජ්‍ය බලය සෘජුව අත්පත් කරගැන්මට ප්‍රයත්න දරන දේශපාලනයද සමාජය තුළ පැතිර පවතින රාජ්‍යය පරිවර්තනයට ලක් කරන්නට සමත් වන්නේ නැත. එබැවින්, එවන් ව්‍යාපාරයකට තම බලය පවත්වා ගන්නට සිදුවනු ඇත්තේ බලහත්කාරය සහ මර්දනය මගින් පමණි. විසිවන සියවසේ 'සැබවින්ම පැවති සමාජවාදයේ' අසාර්ථකත්වය මගින් අපට පෙන්වන්නේ එම මාර්ගයේ අභාවවාචක ඉරණමයි.   

 

අප කළ යුත්තේ කුමක්ද?


එසේනම්, අප කළ යුත්තේ කුමක්ද? මගේ යෝජනාව නම් අප දැන් 'සමාජය වෙනස් කිරීමේ දේශපාලනය' පිළිබඳ තරමක් යටපත් වී ගොස් තිබෙන සාකච්ජාව යළිත් මතු කොට ගත යුතු බවය.

සමාජය වෙනස් කිරීමේ දේශපාලනය සහ මැතිවරණ දේශපාලනය සැමවිටම එකට ගමන් කරන්නේ නැත.

නිදසුනක් ලෙස, අප සමාජයේ මුල් බැසගෙන තිබෙන පීතෘමූලික බල සම්බන්ධතා වෙනස් කිරීමට ප්‍රයත්න දරන ව්‍යාපාරයකට ඒ සමගම බහුතරයේ ජන්දවලට ආමන්ත්‍රණය කිරීම අසීරු වනු ඇත. නමුත්, වෙනස් කිරීමේ දේශපාලනය මුල් කොටගෙන මැතිවරණ දේශපාලනයේ නිරත වීම පිළිබඳ නිදසුන්ද නැතිවාම නොවේ.

සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමාජයේ සංස්ථාපිත කුළ ධූරාවලිය අභියෝගයට ලක් කරමින් ආන්තික යැයි සැලකුණු කුළවලට අයත් අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් මැතිවරණ දේශපාලනයේ නිරත වීම එවන් එක් නිදසුනකි.

 

වත්මන් අර්බුදයේ තීව්‍රතාව අනුව ඇතැම්විට සමාජය වෙනස් කිරීමේ සහ සමාජය පහළ සිට ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ ව්‍යාපාරයකට නව මුහුණුවරකින් ජාතික දේශපාලනයට කඩාවැදීමේ හැකියාවක්ද පවතිනු ඇත.

 

Demonstrators shout slogans and hold placards as they take part in a protest against the economic crisis at the entrance of the president's office in Colombo on April 10, 2022. - Severe shortages of food and fuel, alongside lengthy electricity blackouts, have led to weeks of widespread anti-government demonstrations with calls for President Gotabaya Rajapaksa to resign. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ගැන අපේක්ෂා රඳවා නොගත්, අළුත දේශපාලනීකරණය වූ පුළුල් තරුණ ප්‍රජාවක් සිටින බව අරගලය අපට පසක් කළේය. එම ප්‍රජාව ආකර්ෂණය කරගත හැකි නව දේශපාලන ආකෘතිය සහ නායකත්ව රටාව කුමක්දැයි කල්පනා කළ යුතුව ඇත.



අරගලය විසින් නව දේශපාලන සංවාද අවකාශයක් විවෘත කරනු ලැබ තිබේ. එම අවකාශය තුළ ගැඹුරු බුද්ධිමය මැදිහත්වීමක් කිරීමේ කිසියම් හෝ ශක්‍යතාවක් පෙන්නුම් කරන්නේ මැතිවරණ දේශපාලනයට වැඩි අවධානයක් දක්වන දක්ෂිණාංශික සහ වාමාංශික පක්ෂ විසින් නොව විකල්ප දේශපාලන අවකාශයක් සහ සක්‍රීය ජනතා ක්‍රියාකාරීත්වයක් වෙත වැඩි අවධානයක් යොමු කරන බලවේග විසිනි.

රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පරිකල්පනයකට ඉඩ හසරක් සපයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංවාදය මැතිවරණවාදයෙන් ඔබ්බට රැගෙන යන්නට සමත් කණ්ඩායම් විසිනි.

 

ශන්තාල් මූෆ් පවසන පරිදි, වාම ජනතාවාදයක (ජනප්‍රියවාදයක නොවේ) මාවත තැනිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ උපායමාර්ගයක් ඔස්සේය.                   

 

ගෝඨාගෝගම අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්