1200 x 80 DMirror

 
 

නරියෙකු සපා කෑ පී.ඒ. රූපලතා නම් 54 වියැති දෙදරු මව ජලභිතිකා රෝගයට ගොදුරුව නාගොඩ මහ රෝහලේදී මියගිය බව ජනවාරි 13 වෙනි දින දිවයින වාර්තා කළේය.


 ජනවාරි 9 වෙනිදා ඇය නාගොඩ මහ රෝහලට ගෙන යන විට, නරියා සපා කෑමෙන්  දින 45ක් ඉක්ම ගොස්ය. මහ රෑ නිදා සිටියදී ගෙට පැන ඇයගේ දෙකකුල් සපා කෑ නරියා තුවාලකාරිය අතහැර පළා ගියේ කුස්සියේ හිරමනෙන් ඔසවා දමා ගැසීම නිසා බව රනේෂ් කුමාර නම් ඇයගේ පුතා මාධ්‍යට පවසා තිබිණ. සිදුවූ තුවාලවලට බේරුවල රෝහලින් ප්‍රතිකාර ගත් අවස්ථාවේ අනතුරට හේතුව වෛද්‍යවරුන්ට කියා නැති බවද වාර්තා වේ.  

එකී මියගිය තැනැත්තිය සිය විවාහක පුතා සහ බිරියත් බාල පිරිමි දරුවාද සමග ජීවත් වූ ඉටි රෙදි පැල්පත බේරුවල වලතර වෙදගොඩලන්ද කොස්ගහවත්ත සුසාන භූමි රක්‍ෂිතයේ පිහිටා තිබිණ. රක්‍ෂිතයක් අනවසර භූමියකි. නරියා සපා කෑ ඇය හෝ ඇගේ පවුලේ කිසිවෙකු හෝ ජලභීතිකා රෝගය ගැන නොදැන සිටියේද?  

බේරුවල රජයේ රෝහලෙන් තුවාලකාරිය තුවාලකාරිය ප්‍රතිකාර සඳහා ගිය අවස්ථාවේ අනතුරට හේතුව ඇගෙන් විමසා නැතිද? මේ අනුව ජලභිතිකා රෝගය සම්බන්ධ කිසිදු උපදෙසක් ලැබී නැති බව පෙනේ.

සිද්ධියෙන් දින 45කට පසුව ඇයගේ මරණයට හේතුව ජල භිතිකා රෝගය බව දැනගත් වහාම ප්‍රජා සෞඛ්‍ය සේවා බලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නරියන් බල්ලන් සපා කෑම් පිළිබඳ සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද ගැන ප්‍රදේශවාසිහූ  දැනුවත් කළ බවද මාධ්‍ය වාර්තා කරයි.  



මේ හුදෙකලා සිද්ධිය හරහා කඩා වැටෙමින් පවත්නේ රටේ ආර්ථිකය පමණක් නොව කොවිඩ් වසංගතය මැනවින් පාලනය කළ ලංකාවේ ජන ජීවිතයද අනාරක්‍ෂිත බව තහවුරු නොවේද?



බේරුවල පිහිටා ඇත්තේ වන්නි හෝ උතුරු හෝ නැගනෙහිර පළාතේ නොවේ. සියලු සම්පතින් සමෘධිමත් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ය.

මේ සිද්ධිය හැදෑරීමෙන් සිද්ධි අධ්‍යයනයක වටිනාකම තේරුම්ගත හැකිය.

මුලින්ම සාමාන්‍ය ජන ජීවිතය  වෙළා ගත් දරිද්‍රතාවය හඳුනාගත හැකිය. ඔවුන් කෙසේ හෝ ජීවත්වූ බව තහවුරු කරගත හැකිය. හෙවත් කළමනාකරණය කර ගත්තා එය රටේ ශක්තිය වේ.

අවාසනාව ඒ ජන කොටසට අවම පහසුකම් සහිතව හෝ ජීවත්වීමේ ඉඩකඩ අහිමිය. වැදි පත්තුවේ ගමකින් හෝ මෙවැනි වනසත්ව ප්‍රහාර වාර්තා නොවේ.  හෙවත් ජනතාවට සුදුසු වාසස්ථාන නැත. නිදහසින් වසර හැත්තෑ ගණනක් ගතවූ ද ලංකාව යහපත් ජනාවාසයක් වී නැත.  

දෙවනුව ජීවත්වන කවර තැනක හෝ සුරක්‍ෂිතව සිටීමේ මූලික මනුෂ්‍ය අයිතිවාසිකම පවතීද? විශේෂයෙන් උක්ත  තරුණ  යුවලට අඹුසැමි සම්බන්දධතා පවත්වා ගැනීමේ පරිසරයක් හෝ තිබිලා නැත.  




වසර 44ක් පැරණි ලෝක ගෞරවයට පාත්‍රවූ නිවාස වැඩ සටහනක් ක්‍රියාත්මක ලංකාවේ තවමත් නිවාසයක් හෝ මනුෂ්‍ය වාසයට සුදුසු ඉඩමක හැම පුරවැසියෙකුටම ලැබී නැත.  




තෙවැන්න උක්ත සපා කෑම් නිසා ජලභීතිකා වැනි මාරාන්තික තර්ජන පවත්නා බවට අවබෝධයක් ජනතාව තුළ නොමැතිකම ප්‍රජා සෞඛ්‍ය සේවාවල මෙන්ම තුවාලකාරියට ප්‍රතිකාර කළ රෝහලේ කාර්ය මණ්ඩලවල වගවීමේ ප්‍රමාණයද ප්‍රසස්ථ නොවේ.

උක්ත සිද්ධිය අපේ දේශය යළි ගොඩ නැගීම පිළිබඳව මහා කතිකාව සමග පෙළ ගැස්විය යුතුවේ.



රටේ ප්‍රශ්නය විදේශ සංචිත හිඟවීම පමණක්ද?


GR MR 2022.01.17d 1වන්දාමි ගොටාභයං


රටේ ප්‍රශ්නය විදේශ සංචිත හිඟවීම පමණක්ද? ණය වී ඉදි කෙරෙන අධිවේගි මාර්ග පහසුකම මේ තත්වයට පිළියම් නොවේ. පුරවැසි පවුලක පැවැත්ම ගැන බලධාරින්ට වාර්තා නොවන ආයතන ක්‍රමය දේශපාලනීකරණය වීමෙන් මෙය සිදුවී ඇත.

උදාහරණ ලෙස ලංකාවේ පළමු අධිවේගි මාර්ග ව්‍යාපෘතිය දකුණු පළාතේ ක්‍රියාත්මක කිරිමට තෝරා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රධානියා පැමිණි අමුත්තන්ට දණ ගසා වැඳීමත් සාකච්ඡා කළ යුතුවේ.



දිවයින මෙන්ම ලංකාදිප පුවත්පත් දෙකම පුද්ගල නාමය, ස්ථානය, සිද්ධිය දින වකවානු සහිතව පළකළ බේරුවල ඛේදවාචකය සමග ජනාධිපති ගෝඨාභයට දළදා වන්දනාවේදී හමුවූ නන්නාඳුනන තරුණයා ගැන සෙවිය යුතුවේ. වැලේ වැල් නැති රාජපක්‍ෂ ඔලුබෑයන්ට තවත් වසර දෙකක් රටේ පාලනය ලබා දීමට ජනමත විචාරයක් යෝජනා කරන ඒ ඉස් ගෙඩියාගේ වාසදේස ජීවන මට්ටම විමසිය යුතු නෙවේද? ඒ මුග්ධ යෝජනාව ගෝඨාභයම රටට ප්‍රකාශ කිරීම මස්තිෂ්කය පිහිටි තැන විමසීමට පොළොඹවන තරම් ගරු කටයුතු හැසිරිමකි.



රටේ වර්තමාන ප්‍රශ්නවලට හේතුව වසංගතය මිස, ගොඨාභයගේ අකාර්යක්‍ෂමතාව නොවන බව හිතන ලක්‍ෂ ගණනක් රටේ ජීවත්වෙති. එය පුදුම විය යුතු නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අනුව, මේ පාලකයා දිනවීමට පෙළ ගැසුණ හැට අට ලක්‍ෂයෙන් දහඅට ලක්‍ෂයක් ශ්‍රීලනිපය සතු නම්, පොහොට්ටුවේ ශක්තිය පනස් ලක්‍ෂයකි.



එදා ශ්‍රීලනිපය නිහඬව වී සජිත් ජනාධිපති වුණා නම් ඒත් රට තුළ මීට වඩා ප්‍රාතිහාර්යක් සිදු වේද? කොවිඩ් කාලයේ ආණ්ඩුවෙන් බෙදූ රුපියල් පන් දහස රුපියල් විසි පන් දහසක් විය යුතු බව කී සජිත් ළඟදී චාවාකච්චේරියේ පාසලකට ගොස් අනාගතයේ තම රජයෙන්  සියලු පාසල් දරුවන්ට නොමිලේ පාවහන් ලබාදෙන බව කීවෙත් අර පෑඩ් කතාව කී කටින්මය.


බේරුවල මියගිය අර දෙදරු මව, නරියා සපා කෑහැටියේ කියා ඇත්තේ මට අමාරු නෑ පුතේ කියාය. ජලභිතිකාවෙන් ඔත්පලව වතුරවත් ගිලගන්න නොහැකිව දඟලන අතර, ඒ මව පුතේ මගේ පණ---- හයියයි යනුවෙන් කැටි තොට දැක්වූ ආත්ම ශක්තිය ලංකාවේ කාලකන්නි දේශපාලනඥයන් සහන මලු පන්දාහේ කෑලි හරහා ඡන්ද පෙට්ටිවලට එකතු කළහ.


අගමැති ප්‍රේමදාසගේ වින්නඹු අම්මා :




1984 ගම් උදා සංවත්සර ක්‍රියාවලිය අතර, දවසක  මිහින්තලේ සිට අනුරාධපුරට එන අතර මගදී අගමැති ප්‍රේමදාසට අහඹු ලෙස හමුවූ මහළු මවකට   කඩිනමින් නිවසක් තනා දීමට කළ නියෝගය ඇයට නිවසේ යතුර භාරදෙන තෙක් අඛණ්ඩව කොළඹින් අධීක්‍ෂණය කෙරිණ. එකී හමුව අහඹුවක් නොවන බව  දැනගත් මම ඒ ගැන අගමැතිගේ මාධ්‍ය ප්‍රධානියාගෙන් විමසීමි. උත්තරය ඒ අගමැති ප්‍රේමදාසගේ වින්නඹු අම්මා බවය.

ඇයගේ හැඳුනුම් පත විමසූ මට ප්‍රේමදාස උපන් 1924දී ඇය 24 හැවිරිදිව සිටි බව අවබෝධ විය. එ දවස රාජ්‍ය නිලධාරියෙකුවූ මා තුළ පැවති වෘතීය විනය හේතුවෙන් අර මහළු මාතාවගෙන් මේ ගැන විමසීමට කල්පනා කළේ නැත.

මිහින්තලේ 1983 සිද්ධියේ සිට 2022 බේරුවල සිද්ධිය තෙක් වූ 39 වසර පුරා නන්නාදුනා සාමාන්‍ය ජනතාව සමග දේශපාලකයන් ගණුදෙනු කළේ එසේය.



එල්ලුම් ගහට නියම කළ මිනි මරුවාට සමාව දීමේ පටන් මේ ආකාරයට රාජ්‍ය බලය පාවිච්චි කිරීම නතර කිරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෛකු හෝ කැමති නොවේ.


සාමාන්‍ය ගැහැනුන් මිනිසුන් බිලි ගන්නා මෙවැනි ඛේදවාචකයන් මාධ්‍ය වාර්තා කළ යුත්තේ වතුරේ පාවෙන පොල් ලෙලි රිද්මයට සිද්ධින් හැටියට පමණක් නම්  නොවේ. තමන් කැමති විටෙක තෝරා ගෙන උදව් පදව් කිරිමේ ලයන් රොටරි ක්ලබ් සංස්කෘතිය රටේ දේශපාලනය වී හමාරය. සිල්රෙදි දුන්නේත් මිනි මරුවන් ඡන්දයට ඉදිරිපත් කර අනුකම්පාව හරහා බලය ගොඩ නැගීමත් ජන සමාජයකට කරන හතුරු කමකි.



තම ජනාධිපති මැතිවරණ සටනේදී කාන්තාවන්ට නොමිලේ පෑඩ් දී ඡන්ද ගැරීමට තැත් කළ සජිත් මෙන්ම සෞභාග්‍ය මල්ල උඩ දැමූ ගෝඨාභයත් ජනතාව මුලා කළේ ලයන් රොටරි ක්ලබ් චින්තනය පාවිච්චි කරමිනි.


මාළුවෙකු නොව බිලි පිත්තක් අයදින චීන කියමන :




සජිත්තේ පියා පාසල් දරුවන්ට නිල ඇඳුම් දුන් කාලයේ ලග්ගල විල්ගමුවේ ගොවියෙකු කීවේ අපට දරුවන් වැඩි නැහැ. ආණ්ඩුව අපට වතුර පොහොර ටික පහසුකම ලබා දුන්නොත් ඇති බවය. මාළුවෙකු නොව බිලි පිත්තක් අයදින චීන කියමන ඒ ගොවියා දැන සිටියාද නොදනිමි.

අම්පාර අධ්‍යාපන කලාපයේ එකම ජාතික පාසල පානම පාසලට ඉංග්‍රිසි ගුරුවරුන් තිදෙනෙකු අවශ්‍ය වුවද ඊට අනුයුක්තව සිටි එකම ඉංග්‍රිසි ගුරුවරයාද  නොබෝදා ස්ථාන මාරුවී ගොස්ය. මේ පාසලේ තත්වය සහ බේරුවල සුසාන භූමියක් සමිපයේ ඉටිරෙදි වැසූ නිවස අතර කිසිදු වෙනසත් නැත. මේ රාජ්‍ය ආයතන දේශපාලනඥයන් යටතට ගැනීමේ ප්‍රතිපලය වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 19 වෙනි සංශෝධන යටපත් කළ 18 සහ 20 වෙනි සංශෝධන වලින් බේරුවල ඛේදවාචකය හෝ පානම පාසලේ තත්වය වෙනස් නොවේ.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා කියන්නේ හැඟීමෙන් මිස අවබෝධයෙන් නොවේ. ජනතා විමුක්ති පෙරමුණත් ඒ හැඟීමෙන් යැපෙනවා මිස ජනතාව දැනුවත් නොකරති. ඊට හේතුව ජනතා විමුක්ති පෙරමුණට තමන් මිස උපන් රට ප්‍රමුඛ නොවන නිසාය.

20 වෙනි සංශෝධනයට මුවා වී පාර්ලිමේන්තු ගිය බැසිල්, සිය  අයවැය කතාවේදී,

(අ) රාජ්‍ය සේවය බරක් බව කීය.

(ආ) රාජ්‍ය සේවයේ විශ්‍රාම කාලය වසර පහකින් දිර්ඝ කළේය.

(ඇ) රාජ්‍ය සේවයට තවත් පනස් දහසක් එක් කිරීම අනුමත කළේය. එකිනෙකට පරස්පර මේ තීරණ තුළ දේශපාලන වාසි මිස රටට කිසිදු යහපතක් නැත.



වර්තමාන දියසේන හල්දුම්මුල්ලට සැපැත්ව ගැටළුවකට දුන් එක් විසඳුමක් පවත්නා නීති රීතින්ට පටහැනි නිලධාරින් සිහිපත් කළ විට සුපුරුදු සිනාව නගමින් නීතිය තමන් බව කීවේ රටටම ඇහෙන්නටය. රටේ ආර්ථිකයත් පාලන රාමුවත් බිඳ වැටුණේ මෙවැනි පාලකයන් නිසාය.



වසර 44ක් පුරා ක්‍රියාත්මක දෙවන ජනරජ ව්‍යවස්ථාවේ සංශෝධන 20කි. වසර 233ක් පැරණි අමෙරිකන් ව්‍යවස්ථාවට සංශෝධන 27කි. වසර 233ක් තුළ අමෙරිකාව ලෝකයටම බලපෑම් කළ හැකි රටක් ලෙස ශක්තිමත් වසර 44 වසර ලංකාව ලෝකයෙන් ණයක් ගැනීමට නොහැකි ලෙස පිරිහුණා මිස ජනතාවගේ ජීවිත සමෘධිමත් නොවීය. ඉහළ ගියේ දූෂණය, නාස්තිය, ජීවන වියදම සහ සමෘධි පවුල්වල සංඛ්‍යාත්මක අග පමණකි.



නරින්ට පිස්සු වැටීම නතර නොකළාට පාලකයන් පිස්සු වට්ටන පාලන ක්‍රමය වෙනස් කිරීමට අප ඒකරාශි වී වන සතුන් ගැවසෙන සුසාන භූමි ආශ්‍රිතව ඉටි කොළ පැල්වල නිදන ජනතාව නගා සිටුවිය හැකිය. රෝග නිධානය නොවිමසා ප්‍රතිකාර කරන සෞඛ්‍ය සේවය පාලනය කළ යුතුවේ.

පවත්නා සක්‍රිය දේශපාලනයෙහි නියුතතු කිසිදු දේශපාලනඥයෙකු මේ සඳහා පියවර ගන්නේ නැත.

රාජ්‍යයක් යනු පාලකයා ආයතන සහ සිවිල් සමාජය වෙති.  

බේරුවල - පානම ආශ්‍රිතව උපුටා දැක්වූ සිද්ධින් දෙකම දේශපාලනීකරණය වීමෙන් දුර්වලවූ  ආයතන අකර්මන්‍ය වීමේ ප්‍රතිපලය වේ. රටේ  ආයතන  නිවැරදි කිරීමට 44 වසරක් අසමත් පාලන ක්‍රමය අවසන් කිරීම සිවිල් සමාජය මිස පොහොට්ටුව, ශ්‍රීලනිපය, ජවිපෙය එජාපය සජබය නියෝජනය කරන සක්‍රිය දේශපාලනඥයන් කිසි විටෙක කැප වන්නේ නැත.



හිටපු අගවිනිසුරුවරිය කියපු කතාව :



 පසුගිය 14 වෙනිදා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ චරිත කතාව එළි දැක්වීමේදී ආරාධිත දේශනය කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අපේ අපේක්‍ෂාවන්, අපේ හැකියාවන්, වගේම අපේ දිරිසම්පන්නකම විය යුත්තේ රටෙන් අපට කියලා හිතනවාට වඩා අපෙන් රටට කියලා වැඩ කිරීම බව සිහිපත් කළාය.

 



සක්‍රිය සිවිල් සමාජය නම් චින්තන වපසරියට බණ්ඩාරනායකලාද අවශ්‍ය බව කාගේත් විශ්වාසය වේ.

අප කතා කළ යුත්තේ 2024දී තෝරා ගන්නා නායකයා ගැන නොවේ. රටේ ඉදිරි දස වසරක වැඩ පිළිවෙල ගැනය. 24වසරක් රටේ ක්‍රියාත්මක සෝල්බරි ව්‍යවස්ථාවට එක සංශෝධනයක් හෝ අවශ්‍ය නොවීය. එහි අපේක්‍ෂාව  ශක්තිමත් රාජ්‍යයක්  හා යහපත් ආණ්ඩුවකි. ඒ ව්‍යවස්ථාවේ මහ පාරේ හමුවන අයට ගම්වර දීමේ ඉඩකඩ අහුරා ඇත.

වර්තමානයේ ලංකාව යනු ශක්තිමත් ආණ්ඩුවක් සහ දුර්වල රාජ්‍යයකි. ඉන්දියාවේ පැවැත්ම ව්‍යවස්ථාව නොවේ. අනම්‍ය ජාතික සැලැස්මය.  

 

Chandrasiri Senevirathne 21
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)

 

Leader Whats app


 
 
 
 
මහින්දගේ පඩි සල්ලි පිල්ලි ගැසූ ලේකම්ට වෙච්ච දේ! | Gossip
 
 
නිවනට කතා කොට ගිනි තියන එවුන් ! | මොණරවිලගේ ලියමන

 
මහින්දගේ වැඩේ රනිල්ට බාරදෙයි! රනිල්ගෙන් කොන්දේසියක්!! | Gossip
 
   
සර් ඔය පාරම ඩඩ්ලිටත් දිලා දාමුකෝ. සිරිසේනටත් උණ ගැනෙන්න.| The Leader TV
 

වරායේ ලක්ෂරි වාහන මන්ත්‍රීලට! | වියත් කතා     
 

 

 கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58